උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ මෙහෙයුම් දියත් කරයි
උත්සව සමයේ මහජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සංස්කාරක අනුර තිලකසිරි මහතා පැවසුවේ නිලධාරීන් 2,000ක් පමණ මේ සඳහා සහභාගී වී ඇතැයිද එම නිලධාරීන් ප්‍රාදේශීය සහ නගර සභා මට්ටමින් කටයුතු කරනු ඇති බවත්ය.
ඒ අනුව ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම්, නඩු පැවරීම් කටයුතු, නිවේදන ලබා දීම මෙන්ම වෙළෙඳුන් දැනුවත් කිරීම් කටයුතුද සිදුකරන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
උත්සව සමයට ගන්නා සකස් කළ ආහාර රස කැවිළි, කේක්, බිස්කට් වර්ග වැනි දෑ සම්බන්ධව විශේෂ අවධානය යොමු වනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙම ආහාරවල ලේබල් සම්බන්ධව මහජනතාවට යම් කිසි ගැටලුවක් පවතින්නේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දෙනවා.
