අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව රැස්වෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 2026.04.06 වන දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී රැස්වුණි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කර ඇති මෙම කමිටුව මගින් සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා වගකීම දරමින්, එහි සියලු පැතිකඩ හා පාර්ශ්ව විධිමත් නියාමනයකට ලක් කර ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා සභාපතිත්වය දරන මෙම කමිටුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය එම්. ඒ. උපාලි මාම්පිටිය, කොළඹ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලීන් රත්නායක, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සෙන්ගරපිල්ලේ අරිවල්සහන්, යුනෙස්කෝව සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිසමේ මහලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ, හිටපු අමාත්‍යාංශ ලේකම් නිමල් දයාරත්න බණ්ඩාර, විශ්‍රාමලත් විදුහල්පතිවරුන් වන බණ්ඩාර වීරසිංහ, වී. උදයකුමාර් යන මහතුන්ගේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩල සභාපති මහාචාර්ය ප්‍රියංගනී සේනානායක, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ. ඩබ්ලිව්. එන්. නලීෆා යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් යුක්තය.

එසේම එම කමිටුව සඳහා සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ජගත් ආනන්ද සිල්වා, ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ නාලක ද සිල්වා, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ කපිල ප්‍රියන්ත, ලංකා ගුරු සේවා සංගමයේ ජී. ඒ. එම්. සමිත් හර්ෂනාථ යන මහත්වරුන් වෘත්තීය සමිති නියෝජනය කරමින් සාමාජිකත්වය දරන අතර, කමිටු කැඳවුම්කරු ලෙස අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එම්. ඒ. වී. එස්. එදිරිසූරිය මහත්මිය කටයුතු කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව ප්‍රධාන කුලුනු පහ යටතේ සිදු කරනු ලබන කාර්යයන් විමර්ශනය හා මෙහෙයවීම තුළින් එම කාර්යයන් නිවැරදි දිශානතියකට යොමුකිරීම, ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් සඳහා පිළියම් යෙදීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු සමස්ත මෙහෙයුම් යාන්ත්‍රණය බලවත් කිරීම සහ ඒ සඳහා වන සමාජ පිළිගැනීම ඉහළ නැංවීම සඳහා කටයුතු සම්පාදනය මෙම කමිටුව මගින් අරමුණු කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින්ගේ සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලනය, විෂය මාලා සංවර්ධනය, ඇගයීම් හා තක්සේරුකරණය, මහජන දැනුවත් කිරීම් හා ප්‍රවර්ධනය යන සියලු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුලුනු ආවරණය වන පරිදි අනුකමිටු රැස්වීමට නියමිත බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.

Share This