ශ්රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම යළි කැඳවන්නැයි නියෝග
ශ්රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (05) නියෝග කළා.
ශ්රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව නඩුව යළි මේ මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා විනිසුරුවරයා එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසටයි පාර්ශ්වකරුවන්ට නියෝග කළේ.
පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
අකිලා නදීෂානි බණ්ඩාර