කෙහෙළිය පවුලට එරෙහි වත්කම් නඩු යළි ඔක්තෝබර් 01 වැනිදා

(අකිලා නදීෂානි බණ්ඩාර)
අයථා ලෙස රුපියල් මිලියන 98කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.
ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද (15දා) කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශ්වයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය.
තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියෝග කළේය.
ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝබර් 01 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.
2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 98කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.