ආශිංසට රනිත්මාට දකුණු පළාත් බැඩ්මින්ටන් ශූරතාව

ආශිංසට රනිත්මාට දකුණු පළාත් බැඩ්මින්ටන් ශූරතාව

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණයෙන් දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ දකුණු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ශූරයා ලෙස ආශිංස හේරත් අභිෂේක ලැබූ අතර, ද්විත්ව ශූරතා දිනා ගත් රනිත්මා ලියනගේ ශූරිය බවට පත්වූවාය.

එසේම ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස මෙවර දකුණු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පැවැත්වීම විශේෂත්වයකි.

ගාල්ල දඩැල්ලේ, දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක්, 11-21ක් සහ 21-19ක් ලෙස තුලිත් පල්ලියගුරු පරාජය කිරීමට ආශිංස සමත්වූ අතර, කාන්තා ඒකල අවසන් මහා තරගයේදී නෙත්මි රත්නායකට එරෙහිව ලකුණු 21-9ක් සහ 21-5ක් ලෙස ජයග්‍රහණය අත්කර ගැනීමට රනිත්මා ලියනගේ සමත්වූවාය. ඉන් නොනැවතී ඇය ප්‍රවීනා විජේසුන්දර සමඟ එක්ව ඉරූෂි අමන්දි සහ සඳති දෙව්මිණි ලකුණු 21-18ක් සහ 21-13ක් ලෙස පරාජය කරමින් කාන්තා විවෘත යුගල ශූරතාව දිනා ගැනීමට ද සමත්වූවාය.

රනිත්මාට අමතරව මර්සිලෝ විටෝරියෝ ද ද්විත්ව ශූරතා දිනා ගැනීම කැපී පෙනිණි.

ඔහු ඇලන් ධර්මරාසපුත්‍ර සමඟ එක්ව ලකුණු 20-22ක්, 21-16ක් සහ 21-17ක් ලෙස ලෝචන ද සිල්වා සහ ආශිංස හේරත් පරාජය කරමින් පිරිමි විවෘත යුගල ශූරතාව දිනා ගත් අතර, සාරා ක්‍රිස්ටීන් සමඟ එක්ව විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස තිළිණ රාජකරුණා සහ වරංගනා ජයවර්ධන පරාජය කරමිනි.

මේ අතර අවුරුදු 19න් පහළ කනිෂ්ඨ තරග අංශයේදී ලකුණු 22-20ක්, 12-21ක් සහ 21-14ක් ලෙස හිරූක සහන්මිත් පරාජය කරමින් බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට ජනීෂ ද සිල්වා සමත්වූ අතර, එහි බාලිකා ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-14ක් සහ 21-9ක් ලෙස රනුමි මානගේ පරාජයට පත් කළ දසිත්මා ජයතිලක විසිනි.

එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව හිමිවූයේ ලකුණු 21-10ක් සහ 21-6ක් ලෙස තෙවිඳු ද සිල්වා සහ ඉරුන් ශාක්‍යා පරාජයට පත් කරනු ලැබූ සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග විසිනි.

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 100 ඒකාබද්ධ, විවෘත සහ පලඟ ශූරතා වශයෙන් කාණ්ඩ යටතේ පැවැති දකුණු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතික පත්වලට අමතරව රුපියල් 7,50,000 ක මුදල් ත්‍යාග පිරිනැමිණි.

  • විමුක්ති ලංකා
Share This