ලොව විශාලතම “ළදරු අපනයනකරු” දකුණු කොරියාවයි

ලොව පුරා විසිරි සිටින කොරියානු ජාතිකයින් ගැන හෙළිදරව්වක්

ලොව විශාලතම “ළදරු අපනයනකරු” දකුණු කොරියාවයි

දශක ගණනාවක් මුළුල්ලේ ලොව විශාලතම “ළදරු අපනයනකරු” වන්නේ දකුණු කොරියාවයි.

දකුණු කොරියානු රජයේ කොමිසමක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් එය අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉතිහාසයේදී දරුණු යුද්ධයකට මුහුණදුන් දකුණු කොරියාව තුළ එවකටදී ජීවත්වීම අතිශය දුෂ්කර වී තිබෙනවා.

යුද්ධය හේතුවෙන් ස්වාමිපුරුෂයා, මව්පියන් සහ ඥාතීන් ඇතුළු සිය හිතවතුන් අහිමිව ජීවිතය යාම්තාක්දුරට හෝ ගැටගසා නොහැකිව අසරණභාවයට පත්වූ බොහෝ මව්වරුන් එවකටදී සිය දරුවන් සිය දහස් ගණනක් විදේශයන්ට අලෙවි කර ඇති බවට සහ දරුවන් විදේශයන්ට පිටත් කර හැර ඇති බවට අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇති බව සඳහන්.

ඒ අනුව එවකටදී දරුකමට හදාගත් බොහෝ කොරියානු දරුවන් මේ වනවිට ලොව පුරා විසිරී සිටින වැඩිහිටියන් වනවා.

විදේශයන්වල සිටින ඔවුන් මේ වනවිට ඔවුන්ගේ මූලාරම්භය සොයා ගැනීමට උත්සාහ කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දකුණු කොරියාව මුහුණදුන් දුෂ්කර කාලය තුළදී කුඩා දරුවන්ව තම මව්වරුන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කර විදේශයන්ට ලබාදීම වැනි අකටයුතුකම්ද සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එවැනි සිදුවීම් ඇතුළු දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ එම මව්වරුන් විසින් විව්ධ ආයතනවලට චෝදනා එල්ල කරන බවත් සඳහන්.

මව්වරුන්ට තම දරුවන් අත්හැරීමට බල කිරීම සඳහා භාවිත කළ බලහත්කාර ක්‍රම පිළිබඳ නව සාක්ෂි කිහිපයක්ද අදාළ සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ප්‍රකාශයන් විමර්ශනය කිරීම සඳහා එරට රජය විසින් 2022 වසරේදී සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම නමින් වෙනම කොමිසමක්ද පිහිටුවීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම කොමිසම අනාවරණ කරගෙන ඇත්තේ 1980 ගණන්වල රජයේ අරමුදල් සහිත සත්කාරක පහසුකම් ආයතන කිහිපයක් විසින් ළදරුවන් විශාල සංඛ්‍යාවක් බලහත්කාරයෙන් දරුකමට හදා ගැනීම සඳහා විදේශයන් වෙත ලබා දී ඇති බවටයි.

බොහෝ අවස්ථාවල එලෙස දරුවන් විදේශයන් වෙත පිටත් කර යවා ඇත්තේ ඔවුන් උපන් දිනයේ හෝ ඊළඟ දිනයේ වීම විශේෂත්වයක්.

එය 1985 සහ 1986 යන වර්ෂවල දී වැඩි වශයෙන් සිදුව තිබෙනවා.

ඒ අනුව එවකටදී ළදරුවන් ලක්ෂ 2කට අධික පිරිසක් එලෙස විදේශයන් වෙත දරුකමට හදාගැනීමට ලබාදී ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එම දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නෝර්වේ සහ ඩෙන්මාර්කය යන රටවලට දරුකමට හදාගැනීමට ලබා දී ඇති බවත් සඳහන්.

තවදුරටත් දකුණු කොරියාව තුළ ළදරුවන් දරුකමට හදාගැනීමට විදේශයන් වෙත ලබාදෙන අතර එලෙස ලබාදෙන ළදරුවන් සංඛ්‍යා මේ වනවිට විශාල ලෙස පහත වැටී තිබෙනවා.

ඒ, 2010 වසරේදී දකුණු කොරියාව විසින් දරුකමට හදා ගැනීමේ නීති සංශෝධනය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසු සහ කොරියානු යුද්ධයෙන් පසු බලහත්කාරයෙන් සහ ආර්ථික අපහසුතා මධ්‍යයේ විදේශවලට පිටත් කර හැරි දරුවන්ට (මේ වනවිට වැඩිහිටියන් වන) ඔවුන්ගේ මූලාරම්භය සොයා ගැනීමට උපකාර කිරීමට දකුණු කොරියාව අඛණ්ඩව සහාය ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස විදේශයන්වල සිටින මේ වනවිට වැඩිහිටියන් බවට පත්ව සිටින කොරියානු ජාතිකයින් කිහිපදෙනෙකු සම්බන්ධ කරගැනීමට CNN පුවත් සේවය සමත් වී තිබුණා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වෙනස් රටක වුවද තමන් සැප පහසු ජීවිතයක් ගතකරන බවත්, තමන් හදාවඩා ගැනීමට කොරියානු මව්පියන්ට අපහසු බැවින් විදේශයන්ට තමන්ව ලබාදීම සම්බන්ධයෙන් අහිතක් නොමැති බවත්ය.

Share This