ඊශ්රායලයේ කෘෂි රැකියා සඳහා ගිය 80ක් පැන ගිහින්
ඊශ්රායලයේ කෘෂි රැකියා සඳහා ගිය පිරිසෙන් 80 දෙනෙකු පමණ සේවා ස්ථානවලින් පැන ගොස් ඇති බව බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝශල වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේ, ඊශ්රායල් කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව යන පිරිසක් අමතමින්.
එලෙස පැන ගිය පිරිස සුදුසුකම් මතද, නොඑසේනම් දේශපාලන හිතවත්කම් මත එම රැකියා සඳහා ගොස් ඇද්දැයි යන සැකය මතු වන බව ද සභාපතිවරයා කියා සිටියා.
තවත් 5000 ක් පමණ කෘෂි රැකියා අපේක්ෂාවෙන් සිටින බැවින් ඔවුනට අවස්ථාව ලබාදීමට නම් ගිවිසගත් රැකියා ස්ථානවලින් පැන නොයන ලෙසත් එවන් කටයුතුවලට හවුල් නොවන ලෙසත් ඔහු ඉල්ලීමක් කළා.
කෙසේ වෙතත් ඊශ්රායල් කෘෂි රැකියා නිවැරදිව කළමනාකරණය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් වසරකදී කෘෂි රැකියා 10,000ක් පමණ ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි කෝශල වික්රමසිංහ මහතා අවධාරණය කළේ.
සුදුසුකම් නොමැතිව ගිය පිරිස් ගොවිබිම්වල වැඩකිරීමට නොහැකි වීම හේතුවෙන් නියමිත සේවා ස්ථානයෙන් පැන ගොස් විවිධ ස්ථානවල සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඔවුන් එලෙස සේවය කිරීම ගිවිසුම් කඩකිරිමක් වන අතර එය නීති විරෝධී බව ද ඔහු සඳහන් කළා.
මින් ඉදිරියට කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රැකියා සඳහා සුදුසු අය පමණක් යොමු කිරීමට, කටයුතු කරන බවත්, ඊශ්රායල් රැකියාවල නිරතවන අය පිළිබඳ සතියකට වරක් නිරීක්ෂණය කරන බවත් සභාපතිවරයා කියාසිටියා.