පැය 24ට බීමත් රියැදුරන් 251 දෙනෙකු අත්අඩංගුවට
පසුගිය පැය 24 තුළදී බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එම කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මාරක රිය අනතුරක් වාර්තා නොවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් 8747 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඉදිරි කාල සීමාව තුළදී බීමතින් තොරව මාර්ග නීතිවලට අනුකූලව රිය පදවමින් තමන්ගේ සහ අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙසයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත උත්සව සමයේ රිය අනතුරුව අවම කර ගැනීමේ විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.