2040 වන විට ලොව පුරා දරුවන් මිලියන 220කට වැඩි පිරිසක් අධික ස්ථුලතාවයේ ගොදුරක් වන හැඩ

ඉතා ඉක්මනින් නිසි පියවරක් නොගතහොත් 2040  වන විට ලොව පුරා අවුරුදු 5ත් 19ත් අතර දරුවන් මිලියන 220කට අධික සංඛ්යාවක් ස්ථුලතාවයෙන් දැඩි පීඩා විඳිනු ඇතැයි ලෝක ස්ථුලතා සම්මේලනය (World Obesity Federation) අනතුරු අඟවමින් කියා සිටී. ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව, 2025 වසරේදී මිලියන 180ක් වූ මෙම අගය 2040 වන විට මිලියන 227 දක්වා ඉහළ යනු ඇති අතර, අධික බර සහිත දරුවන් සංඛ්යාව බිලියන භාගය ඉක්මවා යනු ඇතැයි ඔවුන්  වැඩි දුරටත් පවසයි. අධික ශරීර ස්කන්ධ දර්ශකය (BMI) හේතුවෙන් ඇතිවන බෝ නොවන නිදන්ගත රෝගවල මුල් ලක්ෂණ පාසල් යන වයසේ පසුවන දරුවන් මිලියන 120කට පමණ පහළ වීම මෙහි ඇති බියකරුම තත්ත්වය වන බව ඔවුන් පවසයි.
අධික ශරීර ස්කන්ධ දර්ශකයක් සහිත දරුවන් වැඩියෙන් වාර්තා වන්නේ චීනයෙන් (මිලියන 62) සහ ඉන්දියාවෙනි (මිලියන 41). ඇමරිකා එක්සත් ජනපදයේ දරුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම මෙම අවදානමට මුහුණ දී සිටින අතර, බ්රිතාන්යය ද යුරෝපයේ නරකම දත්ත වාර්තා කරන රටක් බවට පෙන්නුම් කරයි. ඉතා අඩු සහ මධ්යම ආදායම් ලබන රටවල ද මෙම තත්ත්වය ශීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.
වැඩිහිටියන්ට වැළඳෙන අධික රුධිර පීඩනය සහ හෘද රෝග වැනි රෝග කුඩා දරුවන් අතර ව්යාප්ත වීම අනාගත පරපුරේ සෞඛ්යයට එල්ල වන ප්රබල ඛේදාන්තයක් බවත් ඔවුන් පවසයි.
දරුවන්ගේ මෙම සෞඛ්ය පරිහානියට ප්රධාන හේතුව ඔවුන් ජීවත් වන වටපිටාව සහ ආහාර පරිභෝජන රටාව වන බව ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) විශේෂඥන් වැඩිදුරටත් අවධාරණය කරයි.       සීනි අධික පාන වර්ග සහ ‘ජන්ක් ෆුඩ්’ (Junk food) සඳහා දරුවන් යොමු කිරීම වැළැක්වීමට රජයන් මැදිහත් විය යුතු බව ඔවුහු පවසති.  සීනි සදහා බදු පැනවීම, නුසුදුසු ආහාර ප්‍රවර්ධනය , ප්‍රචාරණය  සීමා කිරීම සහ දරුවන් ක්රියාශීලී ජීවන රටාවකට යොමු කරන ප්රතිපත්ති සකස් කිරීම සැමගේ වගකීම බවද සදහන් කරයි. ‌ ලෝකයේ ඇතැම් රටවල් මේ වනවිටත් රාත්රී 9ට පෙර රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ මෙවැනි ආහාර වෙළඳ දැන්වීම් පාලනය කිරීමට පියවර ගනිමින් සිටී.
Share This