2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සම්පාදනය කරනු ලබන ලිත් කර්තෘවරුන් හා ජෝතීෂ්‍යවේදීන් අතර 2026 මාර්තු මස 16 වන දින පෙරවරුවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී 2026 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සම්බන්ධයෙන් ඇති කරගත් පොදු එකඟතාවන් මත සකස් කළ 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙලෙස නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව නැකැත් සීට්ටුවේ නැකැත් ඇත්තේ මෙලෙසයි.
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රියෙල් මස 19 වන ඉරිදා දින ද, නව සඳ බැලීම මැනවි.
තෙල්වලං ළිප තැබීම
අප්‍රේල් මස 05 වන ඉරිදා දින පූර්වභාග
ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තෙල්වලං ලිප තබා අවුරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවි
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන් හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහතපරිදි ඉටුකිරීමක් මැනවි.
ආහාර පිසීම (ළිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බදාදා පූර්ව භාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
හදිසි රාජකාරි සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන සිකුරාදා දින පූර්වභාග 05.38 ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් ද හෙළ මෝරු ද උඳු මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එලකිරි විශ්ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ,අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.50 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට රන්වන් පැහැති වස්ත්රාකරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.
