2025 වලව සුපර් ක්‍රොස් 13 වැනිදා

2025 වලව සුපර් ක්‍රොස් 13 වැනිදා

සදර්න් මෝටර් ස්පෝට්ස් සංගමය සහ ශ්‍රී ලංකා යුධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව එක්ව සංවිධානය කරනු ලබන 2025 වලව සුපර් ක්‍රොස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලිය එළැඹෙන 13 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. මෙවර වලව සුපර්ක්‍රොස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ‘මොනරා’ පුවත්පතයි.

10 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය මෙවරත් පැවැත්වෙන්නේ උඩවලව, සෙවනගල කාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදීය.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 2019 වසරින් පසුව එනම් වසර 6ක විරාමයකින් අනතුරුව වීම ද විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරග ඉතිහාසයේ පළමු වරට ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ද මෙවර වලව සුපර්ක්‍රොස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලියේදී කටයුතු සැළසුම් කර තිබිම ද විශේෂත්වයකි.

2011 වසරේදී ඇරඹි වලව සුපර් ක්‍රොස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලිය මෙරට මෝටර් රථ සහ යුතුරුපැදි ධාවන තරගාවලි අතර ප්‍රමුඛතම තරගාවලියක් ලෙසින් සැළකේ.

ඒ අනුව 2025 වලව සුපර් ක්‍රොස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලියේදී යතුරුපැදි සහ මෝටර් රථ ධාවන ඉසව් 21ක් ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ. ඊට යතුරුපැදි ධාවන තරග ඉසව් 9ක් සහ මෝටර් රථ ධාවන තරග ඉසව් 12ක් ඇතුළත්ය.

කොළඹ ඔලිම්පික් නිවහනේදී ඊයේ (2දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය වූ අතර ඊට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති නුවන් සමරවික්‍රම, ලේකම්, රමේෂ් මාලන්ග, කමිටු සාමාජික සරිඳු ගමගේ, ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ඒකක ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන් සහ ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ බි්‍රගේඩියර් පියල් විජේසිරිවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2025 වලව සුපර් ක්‍රොස් යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන්නේ ‘ඒෂියන් පේන්ට්ස් කෝස්වේ’ සමාගමයි. ඊට අමතරව රන් එෆ්.එම්. මෙහි නිල ගුවන්විදුලි සහකරු ලෙසින් කටයුතු කරනු ඇත.

(ගමිත දෙහිපිටිය)

Share This