හෝමූස් රකින්න ප්‍රංශ ජනපති සැරසෙයි
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ඇති වූ ආතති සහගත තත්ත්වය හමුවේ එම මුහුදු මාර්ගය යළි විවෘත කිරීමේ අරමුණින් නාවික හමුදා බල ඇණියක් යෙදවීමට ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්රොන් නියෝග කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා ප්‍රංශ නාවික හමුදාවේ ප්‍රධානතම යුද නෞකාවක් වන ‘චාල්ස් ඩි ගෝල්’ ගුවන්යානා හාරක නෞකාව ඇතුළු නැව් පිරිසක් මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ. එම කලාපය තුළ නිදහසේ නාවික ගමනාගමනය සහතික කිරීම මෙම පියවරේ මූලික අරමුණ බව ප්‍රංශ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් උත්සන්න වූ ආරක්ෂක අවදානම මත හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කළේය. එම පියවර හේතුවෙන් ලෝක තෙල් සැපයුමේ ප්‍රධානතම මාර්ගයක් වන එම සමුද්‍ර සන්ධිය හරහා බලශක්ති ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වූ අතර එය ගෝලීය බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේය.
