හෙට රාත්‍රියේ තද වැසි සුළගේ වේගයත් ඉහළට

හෙට රාත්‍රියේ තද වැසි සුළගේ වේගයත් ඉහළට

(නිමල් දයාරත්න)
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව ඇති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් අද දිනයේ හම්බන්තොට, පොතුවිල් ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුළුවිය හැකි බැව් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණාසේන මහතා පවසයි.
හෙට ප.ව.5.30 – 11.30 අතර කාලයේදී මෙම පීඩන අවපාතය රටට ඇතුවවිය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්, උතුර, උතුරුමැද ඇතුළු ඇතැම් ස්ථානවලට මි. මී. 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 50- 75ක තද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඒ මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
දැන් මෙය පීඩන අවපාතයක් බවට පත් වී ගැඹුරු පීඩන අවපාතයකට පරිවර්තනය වී තිබෙනවා. පොතුවිල සිට නැගෙනහිර දිසාවේ ගිනිකොන දිසාවට කි.මී. 350කපමණ ඈතින් ස්ථානගත වී තිබෙනවා. ගැඹුරු මුහුදු තීරයත්, ආසන්න මුහුදු තීරයෙත් සුළං වේගය වැඩිවෙනවා. පැයට කි.මී. 70 – 80 දක්වා. ඒ වගේම දිවයින වටා මුහුදු රළ ඉහළ යනවා. මීටර් 2 – 3 අතර තද වැසි ඇති වෙනවා. එම නිසා ඉදිරියේ දැනුම් දෙනතුරු නාවික හා ධීවර කටයුතුවල යෙදෙන්න එපා. මධ්‍යම කඳුකර ආශ්‍රිත ප්‍රදේශයේ බටහිර බෑවුම් සහ දකුණු පළාතේ සුළගේ වේගය සාපේක්‍ෂ අඩුවක් තියේවි. අනෙකුත් සියලුම පළාත්වල මෙන්ම කොළඹත්, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 ඉහළ යයි. මේ නිසා ගස්කොළන් කඩාවැටීම්, වහළ ගැලවී යෑමේ සංසිද්ධි ඇති විය හැකියි. නමුත් මේ තත්ත්වය විශාල සුළි කුණාටුවක් බවට පත්වීමේ සම්භාවිතාව අඩු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share This