හිටපු ජනපති වරප්‍රසාද කපන පනත ව්‍යවස්ථාවට පටහැනි නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

හිටපු ජනපති වරප්‍රසාද කපන පනත ව්‍යවස්ථාවට පටහැනි නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

-ශිරාන් රණසිංහ-
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කථානාක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට 09දා දැනුම් දුන්නේය.
එම පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ද කථානායකවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට හිමි වන විශේෂ වරප්‍රසාද අහෝස් කිරීමට හැකි වන පරිදි 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ඉකුත් ජුලි 25 වැනිදා ගැසට් කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම කෙටුම්පත අදාළ ගැසට්ටුව නිකුත් කර තිබිණි.
මෙම පනත් කෙටුම්පතට අනුව හිටපු ජනාධිපතිවරයකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවෙසක් හෝ ගෙවන ලද මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යනාදිය ඉවත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුනගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අදාළ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතියද පළ වී තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.
වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබුණු අතර යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 4 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවද පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන් හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම සෘජුවම උල්ලංඝනය වන බව එම පෙත්සමෙන් පෙන්වා දී තිබිණි. කෙසේ වෙතත් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක වෙත කළ දැනුම්දීමට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ලැබී ඇත.

Share This