හිටපු ඇමැති ලංසා ඇතුළු 21කට එරෙහිව නඩුව ලබන වසරට කල් යයි

(අකිලා නදීෂානි බණ්ඩාර)
මීට වසර 19 කට පමණ පෙර එනම් 2006 වසරේ සිදු වූ ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය නිමල් ලංසා, මීගමු මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙක් වන බන්දුල නාඔටුන්න, හිටපු නගරාධිපති දයාන් ලන්සා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ඔක්තෝබර් 26 වැනිදා කැඳවන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කරයි.
30දා දින පෙරවරුවේදී මීගමුව, ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් 21 දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ විමර්ශන කඩිනම් කර නීතිපති උපදෙස් සඳහා නඩුව යොමු කරන ලෙසයි.
2006.03.08 වැනිදා රාත්‍රි 10.30ට පමණ කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ, ජොසප් මයිකල් පෙරේරා මාවතේ හිටපු උප නගරාධිපති සුනිල් සිල්වා මහතාගේ නිවසට ඇතුළු වී දේපළ මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුව පසුගිය සැප්තැම්බර් 28 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය නිමල් ලංසා සහ හිටපු නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබූ බවට සාක්ෂිකරුවන් තිදෙනකුගේ සාක්ෂි ප්‍රකාශ මත ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් 29 වන දින කොච්චිකඩේ පොලිසියට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන මීගමු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ගිනි අවි අඥා පනතේ 26 වැනි වගන්තිය ප්‍රකාරව වැරදි සිදුව ඇති බවත් තවදුරටත් විමර්ශන සිදු වන බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු විය හැකි බැවින් නිමල් ලන්සාව සහ බන්දුල නාඔටුන්න යන දෙදෙනාව එදින රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
