හිටපු ඇමැති පාඨලීගේ රිට් පෙත්සම කල්යයි

(අකිලා නදීෂානි බණ්ඩාර)
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතළ රිය අනතුරක් සිදුකිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම ජනවාරි මස 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරයි.
පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සම 15දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.
එහිදී මෙම පෙත්සම සලකා බැලීම සඳහා ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරන ලදී.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ජනවාරි මස 22 වැනිදා කැඳවීමට නියමිතය.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිය රියැදුරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කර තිබූ බව පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එසේ තිබියදී අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
