හිටපු ඇමති ලොහාන් රත්වත්තේට ඇප

හිටපු ඇමති ලොහාන් රත්වත්තේට ඇප

බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, රත්වත්තේ මහතා අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 06 වැනිදා, රත්වත්තේ මහතා පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා.

අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව බීමතින් රිය ධාවනය කිරීම, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීම යන චෝදනා යටතේ ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා (05) දිනයේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවා.

එලෙස ඇප මත මුදා හළ රත්වත්තේ මහතා ඊට පසුදින (06) මෙලෙස රිය අනතුරක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඒ අනුව අද (09) අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔහුව ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

Share This