හල්ලොලුව 04 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

(අකිලා නදීෂානි බණ්ඩාර)
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
ඉකුත් දා නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළ අතර ඒ අනුව ඉකුත් 19 වැනිදා උදෑසන අත්අඩංගුවට ගත්තේය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ තුසිත හල්ලෝලුව විසින්ම එම වෙඩි තැබීම සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් තවදුරටත් කටයුතු කරන බවත්ය.