හම්බන්තොට සයිනොපෙක් පිරිපහදුවේ ඉදිකිරීම් ළඟදීම

හම්බන්තොට සයිනොපෙක් පිරිපහදුවේ ඉදිකිරීම් ළඟදීම

(ශිරාන් රණසිංහ)
හම්බන්තොට වරාය ආසන්නයේ චීන සයිනොපෙක් සමාගමේ සෘජු ආයෝජනයක් යටතේ ඉදිකිරීමට නියමිත නව පිරිපහදුව කඩිනමින් ආරම්භ කරන ලෙස ඇමැති විජිත හේරත් මහතා එම සමාගමට කියා තිබේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් යටතේ මෙය ඉදිකිරීමට නියමිතය. එහෙත් ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් මත ඉදිකිරීම් කටයුතු සැලකිය යුතු කාලයක් පමා වී ඇත. මීට අදාළ ගිවිසුම අත්සන් කර මාස 9ක කාලයක් ගත වී ඇත.
චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් 15දා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් එම අමාත්‍යංශයේදී මුණගැසී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳාලීමට ලබා දුන් සහයෝගය පිළිබඳ සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා එහිදී විශේෂ ඇගයීමක් ද කළේය.
ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ද වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Share This