සෝලා ව්‍යාපෘතියකින් බෝවතැන්න ජලාශයට දැඩි තර්ජන
මාතලේ නාවුල මොරැන්තැන්න වත්ත යන ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක රජයේ බලයලත් ආයතන වල බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් සිදුකළ මහා සෝලා ව්‍යාපෘතියක් නිසා බෝවතැන්න ජලාශයට දැඩි ලෙස හානි එල්ල වී තිබේ. බෝවතැන්න ජලාශයේ පෝෂිත කලාපයට ඉහළින් ඇති වනගත කලාපය හෙළිපෙහෙළි කරමින් කඳු සහිත ස්ථානයක ව්‍යාපෘතිය ඉදි වෙමින් පවතී.
පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ පාංශු ඛාදනයෙන් ආසන්නයේ ඇති බෝවතැන්න ජලාශයට මඩ මිශ්‍ර වූ බවට බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික නවරත්න පවසයි. ඊට අමතරව මහවැලි අධිකාරියට අයත් භූමියක් හරහා අනවසරයෙන් පාරක්ද කපා ඇති බවත් මෙම තත්වය හමුවේ තමන් අදාල බලධාරීන් දැනුවත් කරමින් දැනට එම වැඩබිමේ ප්‍රධානීන් හා සාකච්ඡා කළ බවත් ජලාශයට හානිදායක අයුරින් වැඩ සිදුවනවාද පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ මහතා පවසා සිටී.
දැනටමත් කඳු ප්‍රදේශ නායයන ආකාරයක් නිරීක්ෂණය වෙමින් පවතී. මේ සම්බන්ධව මාතලේ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන සෙනවිරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා පවසා සිටියේ වැසි තත්වයේදී ජලාශයට බලපෑමක් ඇති වී තිබෙන බවත් එම තත්වය නිවැරදි කිරීමට වැඩබිම් බලධාරීන් හට උපදෙස් දී ඇති බවත්ය.
