සියල්ල හැර දා යා යුතුය

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත 10දා වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කවුරුත් දනී. හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් කලක් හිමි වී තිබූ හිමිකම් මොනවාද?
ජනාධිපතිවරයෙක් සිය ධුර කාලයෙන් පසු විශ්‍රාම ගනී. එහෙත් අපේ රටේ ජනාධිපතිවරු බොහොමයක් විධායක පුටුවෙන් පැරදී ගෙදර ගියත් ජාතික ලැයිස්තුවෙන් හෝ තරග කොට හෝ යළි පාර්ලිමේන්තු මන්ත්‍රි පුටුවක වාඩිවන සංස්කෘතියක් නිර්මාණය වී තිබිණි. ඊට හේතුව කුමක් ද යන්න ඒ ඒ අයට ඒ ඒ අයගේ නැණ පමණින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසා දිය යුතුය. විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙක්ට විශ්‍රාම වැටුපක් හිමිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ විධායක ජනාධිපති තනතුරක් ඇති කර ගත් බව අපි දනිමු. ඒ අනුව මෙරට පළමු විධායක ජනාධිපති වූයේ ජේ. ආර්. ජයවර්ධනය. 77 පැවැති මහ මැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන 78දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර විධායක ජනාධිපති ධුරයක් ඇති කළේ ගැහැනියක් පිරිමියෙක් බවට පත් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් බවට පත් කිරීමටත් හැර සියලු බලතල විධායකය සතු බවට පාරම්බාමිනි.
දෙවරක්ම මේ රටේ විධායක ජනපති වූ ජේ.ආර්.ගෙන් පසු මෙරට තුන්වැනි විධායක ජනාධිපති වූයේ ආර්. ප්‍රේමදාසය. ඒ 1989 ජනවාරි 02 වැනිදාය. ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමට පෙර 1978 පෙබරවාරි 06 සිට 1989 ජනවාරි 2 දක්වා මෙරට අගමැතිවරයා ලෙස කටයුතු කළ බව අපි දනිමු.
ජේ.ආර්.ගේ දෙවාරයත්, ප්‍රේමදාසගේ වසර 4 කට වැඩි විධායක බලතලත් හමුවේ විපක්ෂයත්, රටේ පොදු මහජනතාවත් ‘විධායක බලතල’ හමුවේ දැඩි පීඩනයකට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 88 – 89 දී තරුණයන්ගේ නැඟිටීමක් සිදුවිය. 88 – 89 කාලයේ අවි අතට ගත් තරුණයන් විධායකය සමඟ සටන් කළේ ජීවිත පරදුවට තබමිනි. තරුණයන්ගේ ප්‍රචණ්ඩත්වයට ප්රචණ්ඩත්වයෙන්ම පිළිතුරු දුන් ප්‍රේමදාස පාලනය තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑ මත අමු අමුවේ පුච්චා මරා දැමූ යුගයක් අපට තාමත් මතකය. එදා ප්‍රේමදාස පාලනයට එරෙහිව ප්රචණ්ඩත්වය දියත් කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ප්රගතිශීලී තරුණ තරුණියන් ය.
88 – 89 තරුණ නඟිටීම රාජ්‍ය ත්‍රස්තවාදය හරහා විනාශ කර දැමූ පාලකයන් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ද පණ පිටින් පුළුස්සා මරා දමනු ලැබුවේ අත්අඩංගුවට ගෙන සිටියදී යැයි ඉතිහාසයේ ලියැවී ඇත.
ප්‍රේමදාස ජනාධිපතිවරයා 1993 මැයි 01 වැනිදා කොළඹ ආමර්වීදියේදී මරාගෙන මැරෙන බෝම්බයක් හමුවේ අවසන් ගමන් ගියේය. ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කරලියට මතු වුණේ දාහත්වසරක එක්සත් ජාතික පක්ෂ දුර්දාන්ත පාලනයක් සිහිකරමිනි.
චන්ද්‍රිකාට ලැබුණු තුරුම්පු අතර හොඳම තුරුම්පුව 88 – 89 භීක්‍ෂණය ය. රජයේ මර්දනය හමුවේ නිරපරාදේ ජීවිත හැරපියා ගිය දූ දරුවන්ගේ ඥාතීන්ගේ සිත් පාරවා සූරියකන්ද සමූහ මිනී වළ හාරන්නට ගත්තේ දේශපාලන කේවට්ටයන් ලබාදුන් උපදෙස් ඉහ උඩින් පිළිගනිමිනි. දාහත් වසරක ශාපය අවසන් කර විධායක ජනාධිපති ධුරය ද අහෝසිකර දමන බවට චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රතිඥා ලබා දුන්නාය. ‘විධායක ජනාධිපති ධුරය’ තිත්ත වී සිටි ජනතාව චන්ද්‍රිකාව ජනපති කළේ 1994.11.12 මේ රටේ ප්‍රථම විධායක ජනපතිනිය වූවාය. චන්ද්‍රිකා එක්වරක් නොව දෙවරක් ම විධායක ජනපති වුවත් ජනාධිපතිවරණයට පෙර දුන් ප්‍රධාන පොරොන්දුව වූ විධායක ජනපති ධුරය අහෝසි කළේ නැත.
බලයට කෑදර වූ චන්ද්‍රිකාත් තවත් වසරක කාලයක් බලයේ සිටින්නට කාලය ඉතිරිව තිබියදී 2005 නොවැම්බර් 19 ජනාධිපතිවරණයක් පැවැත්වූයේ කාගේ හෝ ලනුවක් ගිලමිනි. ජනාපධිතිවරණයට තරග කළ චන්ද්‍රිකාගේ රජයේ අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි වූයේත් ‘විධායක ජනාධිපති’ ධුරය අහෝසි කරන බව කියමිනි. මහින්දත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ක්‍රියා කළේ නැත. 2010 ජනාධිපතිවරණයට තරග කළ මහින්ද ඉන් ජය ගත්තේ ‘තිස් වසරකට’ ආසන්න යුද ජයග්රහණයෙන් උද්දාමයට පත්ව සිටි ජනතාවගේ කර මතිනි. ‘රජෙක්’ බවට පත් වූ මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේ ජනාධිපති ධුරය අහෝසි කර දමන්නට නොව දෙවරක් පමණක් තරග කළ හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති වගන්තිය වෙනස් කර තුන්වැනි වරටත් ජනාධිපති වන්නට පාර කපා ගනිමිනි. මහින්දට 2015දීත් තිබුණේ තනි රේස් එකකි. 2009 යුද ජයග්රහණයෙන් පසු 2010 ජනාධිපතිවරණයට විපක්ෂයේ අය එක් වී හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දමා මහින්දට යම් තරගයක් ලබා දුන්නත්, 2015 දී ජනාධිපතිවරණයට තරග වදින්නට ප්‍රතිවාදියෙක් සොයා ගන්නට විපක්ෂයට හැකියාවක් නොතිබිණි. මේ අල්ල පනල්ලේ කොහේදෝ සිටි මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පක්ෂ එක් වී ප්‍රතිවාදී තරගකරුවෙක් නිර්මාණය කළේ ‘යහපාලනයක’ චිත්‍රයක් ජනතා මනසේ නිර්මාණය කරමිනි. විධායක ජනාධිපති ධුරය අහෝසිය එවරද අංක එකේ සටන් පාඨය බවට පත්විය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත වැනි ගරු කටයුතු සංඝ පීතෘවරුද ‘යහපාලනය’ නිර්මාතෘවරු ලෙස මුලින් මුලින් කටයුතු කළහ. ජනාධිපතිවරණය ජයය ගත් පසු මාදුළුවාවේ සෝභිත හිමි වැනි සංඝ පීතෘවරු පැත්තකට කර දැමූ පිරිස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කළේ තුන්වරක් ජනපති වන්නට සිහින දුටු මේ රටේ අසහාය නායකයා වූ මහින්ද රාජපක්ෂ අරලියගහ මැඳුරෙන්, මැදමුලනට පිටත්කර හරිමිනි. 2015 දී මෛත්‍රි ජනපති වූ සැනින් රටේ අගමැති වු රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා පදිංචිව සිටි අරලියගහ මැඳුරට ගියේ යුද්ධය දිනු අසහාය නායකයා පැදුරට ඇද වැටෙද්දීය. අරලියගහ මැඳුරේ ජනාධිපති කාර්ය මණ්ඩලය, ලේකම් කාර්යාලයේ උදවියත් මහින්ද ජනාධිපතිවරයාගේ දෙපතුල් ළඟ වැඳ වැටී හඬා වැටෙන්නට වූහ.
ඒ එදාය. එදා මහින්ද පරාජය කළ ජනපති වී සිටියේ මෛත්‍රිය. අගමැති රනිල් ය. බලය හුවමාරු වූයේ ප්රජාතන්ත්රවාදීවය. ඡන්දය දුන්නේ මේ රටේ ජනතාවය. 2005 දී මහින්දට පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකකම දෙන්නට අදිමදි කළ චන්ද්‍රිකා ගෙදර ගියේ විධායක ජනපති පුටුව මහින්දට ගිය නිසාය. මහින්ද දෙවරක් ම ජනපති වු පසු 2015දී ප්‍රතිවාදියා ලෙස තරග කර පරාජය වූ යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා හිරේ දැම්මේ හමුදා අධිකරණයක් හරහා ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන නම් වූ විශ්වාසවන්ත මිත්‍රයා 2015දී මහින්දට එරෙහි වූයේ යුද ජයග්‍රහණය පිළිබඳවත් තඹ දොයිතුවකට නොසිතමිනි. නොතකමිනි. 2019දී රට බේරා ගන්නට විරුවෙක්ගේ හිඩැසක් නිර්මාණය විය. ගෝඨාභය හැටනවලක්ෂයක ජන වරමකින් විධායක පුටුවේ වාඩි වූයේ ‘යුද්ධය, ජාතික ආරක්ෂාව’ ප්රමුඛ සටන් පාඨයක් කර ගනිමිනි. 2019 නොවැම්බර් 18 මේ රටේ හත්වැනි විධායක ජනාපධිති වූ ගෝඨාට 2022 ජූලි 14 පණ බේරාගෙන පළා යන්නට සිදු වුණේ දහනවලක්‍ෂයකට අධික පිරිසක් කළ අරගලය නිසා ය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක දිගින් දිගටම ප්‍රකාශ කළ බවක් මතක නැත. එහෙත් ඔහු දුන් පොරොන්දු පරිදි හිටපු ජනාධිපතිවරුන්ට හිමිකම්, හිමි නිල නිවාස, ලේකම් හා ප්‍රවාහන දීමනා, වැන්දඹු විශ්‍රාම වැටුප, අනෙකුත් සියලු පහසුකම් ඉවත් කර ඇත. හිටපු ජනාධිපතිවරු හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අනුවය. එය පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ වැඩි ඡන්ද 150 කිනි.
චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි, ගෝඨා, රනිල්ට පමණක් නොව ප්‍රේමදාස ආර්යාව වන හේමා ප්‍රේමදාසත් අද ගම්බිම් බලා යති. ඇතැම්හු සංවේදී වී සිටිති. තවත් අය සතුට පළකරති. කවුද හරි, කවුද වැරදි කිසිවෙක් වැරදි නැත. රටේ බහුතරයක් ඡන්දය දී ඇත්තේ මැතිවරණ කාලයේ දුන් පොරොන්දු හා ප්‍රතිපත්ති විශ්වාස කරමිනි. පාලකයන් කළ යුත්තේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ දේවල් අකුරට ක්‍රියාත්මක කිරීමය.
ශිරාන් රණසිංහ