සැකකරුවන් පිරිසක් ලුහුබැඳ යාමේදී ස්ථානාධිපතිගේ පිස්තෝලය පත්තු වෙයි – බරපතල තුවාල ලබා රෝහල්ගත කරයි

AI නිර්මාණ පින්තුරයකි.
සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සඳහා ගිය බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, සැකකරුවෙකු ලුහුබැඳ යාමේදී බිම ඇද වැටීමෙන් ඔහුගේ ඉණේ තිබූ රාජකාරි පිස්තෝලය අහඹුවෙන් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
අද (01) අලුයම 4.50ට පමණ බලන්ගොඩ මුගුණමලේ ප්රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වී තිබේ.
තුවාල ලැබූ ප්රධාන පොලිස් පරීක්ෂකවරයා මුලින් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කර ඇත.
කිසියම් අපරාධයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් කිහිපදෙනෙකු බලන්ගොඩ මුගුණමලේ ප්රදේශයේ කැලෑවක සිටින බවට ලැබුණු තොරතුරක් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන් 53427 දයානන්ද මහතා එම ස්ථානයට ගොස් තිබුණි.
