ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසනවා.
මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය. අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවත්ය.
ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පවසා සිටී. එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ් මහතා එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.
මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පවසයි.

