ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්තට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන්

ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්තට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන්

(අකිලා නදීෂානි බණ්ඩාර)
ගුවන් යානයක ගමනාන්ත වෙනස් කර රජයට ඇමෙරිකානු ඩොලර් 4515ක පාඩුවක් සිදු කිරීම, ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනකු UL.536 දරන ගුවන් යානයකින් පිටත් කර හැරීම මගින් රජයට ඇමෙරිකානු ඩොලර් 19,160ක පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයකු වන ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් කොමිසමට (14දා) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී එසේ නියම කෙරුණි.
2014 ජනවාරි 22 දින මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් සැකකරු රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු සිදු කිරීම, 2014 ජනවාරි 26 දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනකු UL.536 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් රජයට ඇමෙරිකානු ඩොලර් 19,160 ක පාඩුවක් සිදු කිරීම, 2014 දෙසැම්බර් මස 19 දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරක කටයුත්තක් පවත්වා රජයේ මුදල් 1,250,000 වියදම් කර දූෂණය නමැති වරද සිදු කිරීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.
සිද්ධියට අදාළ නඩුව ජනවාරි 27 නැවත කැඳවීමට නියමිතය.

Share This