වෛද්‍යවරු 2000ක් රට හැර ගිහින් ගිය පිරිසක් යළි ආවත් රැකියා දී නැහැ

(සඳුනි තිලකරත්න)
රජයේ වෛද්‍යවරුන්ගෙන් දෙදාහක පමණ පිරිසක් ඉකුත් වසර තුන තුළදී රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවැසීය.
මේ දැනුවත් කර විදේශ ගත වූ පිරිස පමණක් බවත් එලෙස දැනුවත් නොකර ගිය තවත් පිරිසක් ද සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
මේ අය මෙසේ රට හැර යෑමට ප්‍රධාන හේතුව වූයේ ප්‍රමාණවත් වැටුප් නොලැබීම සහ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නිසි පරිසරයක් නොමැතිවීම බවද හෙතෙම සඳහන් කරයි.
රට හැර ගිය වෛද්‍යවරු පිරිසක් නැවත ලංකාවට පැමිණ සිටියත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔවුන්ට පත්වීම් ලබාදීමට සූදානම් නැති බවත් පෙන්වා දුන් වෛද්‍ය සුගතදාස මේ තත්ත්වය යටතේ ඔවුන් කලකිරීමට පත්ව ආපසු රට හැර යාමට ඉඩ ඇතැයි ද ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කොයිතරම් හඬ නැගුවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සම්බන්ධ කිසිම සක්‍රිය දායකත්වයක් නැතැයි ද ඔහු කියා සිටියේය.
“ලංකාවෙ ඇතිවුණු ආර්ථික, දේශපාලනික සහ සමාජයීය කඩා වැටීමත් එක්ක ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු ගැටලු රැසකට මුහුණ දෙන්න පටන් ගත්තා. ඔවුන්ට ලැබෙන වැටුපෙන් ලංකාව තුළ ජීවත් වෙන්න අමාරුයි. රෝහල්වලට අවශ්‍ය පහසුකම් නෑ. පැය විසි හතරම වැඩ කරද්දි හදිසි අවස්ථාවල රෝගීන්ට සේවය සපයන්න යන්න වාහනයක් නෑ. තිබුණ වාහන බලපත්‍රයත් අහිමි කළා. අලුතින් වාහනයක් ගන්න විදියක් නෑ. වාහනවල මිල ගණන් ගොඩක් වැඩියි. නිල නිවාස පහසුකම් නෑ. වෛද්‍යවරු විදියට අපි දීප ව්‍යාප්ත සේවාවක් කරන්නෙ. සියලුම ප්‍රධාන රෝහල් වගේම ලංකාවෙ ඈත කෙළවරේ රෝහල්වලට පවා අපි වෛද්‍යවරු අනුයුක්ත කරලා හැම රෝගියකුටම සේවාවන් කරනවා. වෛද්‍යවරුන්ට ඒ දුෂ්කර ස්ථානවලට යන්න වාහනයක් නෑ. රැකියාව කරන්න අවශ්‍ය මූලික පහසුකම් නැතිකම නිසා වෛද්‍යවරු රට හැර යන්න පෙළඹුණා. ලංකාවෙ විශේෂඥ වෛද්‍යවරයකුට වෙන රටවල තියෙන්නෙ ඉහළ ඉල්ලුමක්. සාමාන්‍යයෙන් ලංකාවෙ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන රටකට ගියාම රුපියල් ලක්ෂ 40කට වැඩි වැටුපක් ගන්න පුළුවන්. සාමාන්‍ය වෛද්‍යවරයකුට ලක්ෂ 20කට ඉහළ වැටුපක් ලැබෙනවා. මේ තත්ත්වය මත ලංකාවෙ තිබුණ ආර්ථික කඩා වැටීමත් එක්ක සහ රටේ තිබුණ අස්ථාවරත්වයත් එක්ක වෛද්‍යවරු බොහෝ පිරිසක් රට හැර යන්න පටන් ගත්තා.” යැයි ද ලේකම්වරයා කීවේය.