වෙඩි වැදුණු බානුට වනජීවියෙන් ප්‍රතිකාර

(ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
කවුඩුල්ල ජාතික උද්‍යානයේ සැරිසරන, සංචාරකයන්ගේ මෙන්ම වනජීවී ලෝලීන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව සිටින “බානු” නමින් හඳුන්වන ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටියදී සොයාගෙන ඇති අතර, එම සත්වයා බේරා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් විසින් විශේෂ ප්‍රතිකාර මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෑත කාලයේදී කැකිරාව ආසන්න ප්‍රදේශවල සැරිසැරූ මෙම ඇතාගේ ඉදිරි වම් පාදයට වෙඩි වැදී ඇති බවත්, එම පාදයේ දැඩි ඉදිමීමක් පවතින බවත් ප්‍රදේශවාසීන් විසින් ගනේවල්පොල වනජීවි කාර්යාලයට දැනුම් දී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් ඇතා පරීක්ෂා කර බලා, වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශුවෛද්‍ය ඒකකයේ සහාය ලබා ගැනීමට කටයුතු කළහ.
අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිකාර කටයුතු ආරම්භ කරනු ලැබූහ. ප්‍රතිකාර සිදු කරන අවස්ථාවේදී ඇතා සිටි ස්ථානයට අනෙකුත් අලි ඇතුන් පැමිණීම හේතුවෙන් මෙහෙයුමට දැඩි බාධා එල්ල වූ අතර, නිලධාරීන්ට තම රාජකාරිය ඉටු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
කෙසේ වෙතත්, දැඩි උත්සාහයකින් පසු ඇතා සාර්ථකව නිර්වින්දනය කර තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍ය කණ්ඩායම සමත් විය.
වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ ඇතාගේ තත්ත්වය පිළිබඳව ඉදිරියටත් දැඩි විමසිල්ලෙන් පසු වන අතර, සත්වයා සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් අඛණ්ඩව ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවයි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි සතුන්ට මිනිසුන් විසින් සිදුකරන මෙවැනි හානි පිළිබඳව පරිසර හිතකාමීන් සිය කනගාටුව පළ කර සිටිති.
