විශ්වයේ පැරණිතම ජීවීන් පෘතුවියේ
විශ්වය වසර බිලියන 13.8ක් පැරණි වුවත්, පෘථිවිය බිහිවූයේ මීට වසර බිලියන 4.5කට පෙරයි. ඒ අනුව අපට වඩා වසර බිලියන 9ක “හිස එසවීමක්” ඇති දියුණු ශිෂ්ටාචාර තිබිය හැකි බව සංඛ්‍යානමය වශයෙන් සත්‍යයක් සේ පෙනෙන්නට තිබේ. නමුත් විද්‍යාත්මකව බැලූ කල, එම කාලය මුළුමනින්ම ජීවය සඳහා සුදුසු වූයේ නැත. විශ්වයේ මුල් අවධියේ ජීවයට අවශ්‍ය කාබන්, ඔක්සිජන් සහ යකඩ වැනි බර මූලද්‍රව්‍ය නිර්මාණය වීමට තරු පරම්පරා කිහිපයක් උපත ලබා විනාශ වන තෙක් බලා සිටීමට සිදු විය. එබැවින් ජීවයට හිතකර පරිසරයක් විශ්වය තුළ ස්ථාපිත වූයේ ඔබ සිතනවාට වඩා බොහෝ ප්‍රමාද වී විය හැකියි. අනෙක් අතට, “මහා පෙරහන” (Great Filter) සංකල්පයට අනුව, සරල සෛලයක සිට බුද්ධිමත් ශිෂ්ටාචාරයක් දක්වා පරිණාමය වීම අතිශය දුෂ්කර බාධක ජයගත යුතු ගමනකි. සමහර විට අප එම පෙරහන සාර්ථකව පසු කළ අතිශය දුර්ලභ හෝ ප්‍රථම ශිෂ්ටාචාරය වීමටද ඉඩ ඇත. තාරකා විද්‍යාඥයන් පවසන පරිදි විශ්වයේ බිහිවීමට නියමිත වාසයට සුදුසු ග්‍රහලෝකවලින් 92%ක්ම තවමත් නිර්මාණය වී නැත. මේ අනුව අප විශ්වයේ “පැරැන්නන්” නොව, එහි “මුල්ම සාමාජිකයන්” වීමේ සම්භාවිතාව වැඩියි. අප අද දකින හිස් අහස, සමහර විට අනාගතයේ බිහිවන බිලියන සංඛ්‍යාත ශිෂ්ටාචාර විය හැකියි.
