විදේශ රැකියා ජාවාරමට එරෙහි විමර්ශන පුළුල් වෙයි

විදේශ රැකියා ජාවාරමට එරෙහි විමර්ශන පුළුල් වෙයි

(ශිරාන් රණසිංහ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ ජාවාරම්වලට එරෙහිව සිදු කරන විමර්ශන දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
මෙසේ විමර්ශන දැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ විදේශ රැකියා ජාවාරම් දිගින් දිගටම සිදු වීම සැලකිල්ලට ගනිමින්ය.
ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් විදේශ රැකියා වංචාවක නිරත වූ කාන්තාවක් ඇතුළු දෙදෙනකු පසුගිය 10 දින අත්අඩංගුවට ගන්නා ලදී.
වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායිහි කර්මාන්ත ශාලාවල යුවළක් සඳහා රැකියා අවස්ථා තිබෙන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ අටක මුදලක් අවශ්‍ය බවත් පවසා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් මුදල් ලබාගෙන ඇත. මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට අදාළ කාන්තාව විසින් කාර්යාංශයට පැමිණි කරන ලදී. එහිදී සැකකාර කාන්තාව පැමිණිල්ල විභාග කිරීම සඳහා කැඳවා ඇති අතර, එහිදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා ලබාදීම සඳහා මුදල් අය කරගෙන ඇති බවට කරුණු අනාවරණය විය. ඒ අනුව සැකකාරිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 11දා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට හෝටලයක, නීත්‍යානුකූල නොවන අයුරින් කුවේට් රාජ්‍යයේ රැකියා බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදු කරන බවට කාර්යාංශයට ලද තොරතුරක් මත අදාළ ස්ථානය වැටලීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ. එහිදී අදාළ සම්මුඛ පරීක්ෂණ මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර තුනක්, රැකියා අයදුම් පත්‍ර හා තවත් ලිපිගොනු රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අදහසක් අනුව ආරම්භ කරන ලද මෙම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයන් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන අතර, එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන මෙහෙයුම් පුළුල් කර තිබේ. වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112882228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This