විදුලිබල සේවකයෝ නව සමාගම්වලට බැඳෙන්න ලිපි දෙති

විදුලිබල සේවකයෝ නව සමාගම්වලට බැඳෙන්න ලිපි දෙති

ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයන් සම්බන්ධ කිරීම අරඹා ඇත.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් තමන් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කර ඇත. 22දා පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතාට ලබා දුන් අතර විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතාද මේ අවස්ථාවට එක්විය.
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04ට ඒ අනුව ඉහත සේවක පිරිස් සම්බන්ධ කරනු ඇත.
රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාදයට ලක්වෙමින් තිබෙන බවද මේ අනුව පෙනෙන්නට තිබේ.

Share This