විදුලිබල වෘත්තීය සමිති සමග සාකච්ඡා සාර්ථකව ඉදිරියට
ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින්, අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් සමග සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි.
පසුගියදා පැවති විදුලි සේවක වර්ජනය අවසන් කිරීම සඳහා කම්කරු අමාත්‍යවයා ඍජුව මැදිහත් වූ අතර කාර්මික ආරවුල් පනතේ 12:1 වගන්තිය ප්‍රකාරව සියලු පාර්ශව සම්මුතියකට එළඹීමට කටයුතු කර තිබුණි.
ඊයේ පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සිය ගැටළු , අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.
ඒ අතර පත්වීම් ලිපි, ධුරාවලි ගැටළු , සේවක අත්පොත සම්බන්ධ ගැටළු ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
එම ගැටලු සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයන්ට සහ විසඳුම්වලට පැමිණීමට හැකිවිය.
එහිදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ සේව්‍ය සේවක පාර්ශව එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඕනෑම ආකාරයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
ඒ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සෑම සහායක්ම ලබා දෙන බව ද මහින්ද ජයසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
පවතින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරමින් රට සහ රටේ ජනතාව වෙනුවෙන් එක්ව අභියෝග ජය ගතයුතු බවද ඔහු අවධාරණය කළෙය
මේ සම්බන්ධයෙන් තවත් තවත් සාකච්ඡාවක් ලබන 10 වැනිදා හෝ ඊට ප්‍රථම පැවැත්වීමටද සියලු පාර්ශව එකඟත්වය පළ කළහ.
ඊයේ පැවති සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස,කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතිලු නිලධාරින් මෙන්ම විදුලිබල රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
