වැව්, පොකුණු දිය මත ස්වයංක්‍රීයව ඕලු, නෙළුම් මල් නෙළන්න යාත්‍රාවක් හැදු කවිෂා

(වැල්ලම්පිටිය – එස්.ගමගේ)
‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යනුවෙන් කියමනක් ඇත. එනමුත් කවිෂා ගයන්ති සිසුවියට එය අදාළ වී නොමැත. ඇය ඕල් රවුන්ඩර් කෙනෙක් මෙන් හැම වැඩකටම දස්කම් දක්වන්නීය.
ඇය අතින් අපුරු නව නිපැයුම් නිර්මාණය වන්නේය. විටෙක කවි ලියන්නීය, කෙටි කතා ලියන්නීය, ගීත ගයන්නීය, අපුරුවට චිත්‍ර අදින්නීය, සොඳුර තැන්වල සැරිසරමින් ඡායාරූප ගන්නීය. මේ සෑම අංශයකින්ම ඇය ජයග්‍රහණය කර ඇත.
“සුහුරු ජාතියක් සදහා ඉංජිනේරු විද්‍යාව” යන තේමාව යටතේ පසුගිය සතියේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති ටෙක්නො 2025 ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනයේදී කවිෂා විසින් ඉදිරිපත් කරන ලද නව නිපැයුම උදෙසා ඇගයිම් ලැබුණේ එය ලංකාවෙන්ම දෙවන ස්ථානය හිමි කර ගනිමිනි. තරගවට දෙකකින්ම එය තේරුණ අතර ඒ වෙනුවෙන් සහතික, පදක්කම් සමග රුපියල් පණස් දහසක සහ විසිපන් දහසක මුදල් ත්‍යාග දෙකක්ද හිමි විය.
කවිෂා ඉදිරිපත් කර තිබුණේ අපුරු නිර්මාණයකි. එය දිය මත ගමන් කළ හැකි කුඩා යාත්රාවකි. ඒ මත සවි කොට ඇති සූර්ය පැනලයක් මගින් ආරෝපණය වෙයි. දුරස්ථ පාලකයක් මගින් හසුරුවනු ලැබේ.
මෙම යාත්‍රාව මගින් ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි. කවිෂා ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කළාය.
“ගංගා ඇළ දොළවල බොහෝ විට වර්ණ වෙනස්වීම්, විවිධ රසායන ද්‍රව්‍ය මිශ්රවීම් වැනි දේ දකින්න පුළුවන්. මෙම තත්ත්වය ජලයේ වෙසෙන සතුන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් එක් කරන්න පුළුවන්.”
“එම තත්ත්වය මග හැරීම සඳහා ජලයේ තත්ව පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ජල සාම්පල ජලාශ මධ්‍යයෙන් ලබා ගැනීමට මෙම යන්ත්‍රය ආධාරයෙන් පුළුවන්. මතුපිට ජලය සහ ගැඹුරු ජලය ලබා ගත හැකියි.”
“ඇත වැව් දියේ පිපි ඇති ඕලු, නෙළුම්, මානෙල් වැනි මල් වර්ග මේ මගින් නෙළාගෙන ගොඩට රැගෙන එන්න පුළුවන්. කකුලු අඩු දෙකක් වැනි උපාංගයකින් නෙළුම් මල් එකතු කරන විට යට පැත්තෙන් පිහි තලයකින් නටු කැපි යෑම සිදු වේ. ජලය මත සැරිසරන විවිධ පක්ෂීන්ගේ විවිධ ඉරියව් සහිත සමීප දසුන් මේ මගින් ඡායාරුපයට නැගිය හැකියි .යන්ත්‍රය මත කැමරාවක් සවිකොට එහි ෂටරයට ස්ප්‍රින් කම්බියක් සවි කොට දුරස්ථ පාලකය මගින් කැමරාව ඒ මේ අතට හරවමින් ඡායාරුප ගත හැකියි.”
“ගංවතුර අවස්ථාවලදී ගමන් කළ නොහැකි තැන්වල අවතැන්ව සිටි අය වෙත ,ආහාර යැවීම, සන්නිවේදන හුවමාරුව ආදිය මෙමගින් සිදු කරන්න පුළුවන්.”
මේ ආදී කාර්යයන් රැසක්ම මෙමගින් සිදු කළ හැකි බව ද ඇය කියා සිටියාය.
කවිෂා තම නිවස පිටුපස ඇති ඇළ මාර්ගයේත්, ආසන්නයේ ඇති දියවන්නා ජලාශයේත් මෙම යන්ත්‍රය මගින් පක්ෂීන්ගේ සුන්දර ඡායාරුප රුසක්ම ගෙන ඇති අතර ඒවා දේශීය හා ජාත්‍යන්තර තරග ලට යවා සම්මාන ද දිනා ඇත.
විනෝදයට ඡායාරුප කලාවේ නිරත වන ඇය පිටකොටුව ජනාකීර්ණ විදිවල පවා සැරිසරමින් නාටාමිවරුන්ගේ ,පදික වෙළඳුන්ගේ දෛනික ජිවන චර්යාවන් අපුරුවට ඡායාරූපයට නගන්නීය.
ඇය තම නිවසේ ජල කාන්දුවක්, විදුලි ඇනහිටීමක් සිදුවූ අවස්ථාවකදී ද ඒවා නිවැරදි කර ගනිමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉදිරිපත් වන්නීය.
මෙම සතියේ පැවැත්වෙන කොළොන්නාව නගර සභාවේ සාහිත්‍ය උළෙලේදීද කවිෂාට කෙටි කතා තරගයෙන් දෙවන ස්ථානයද, චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානයද හිමි ඇත.
කවිෂා අධ්‍යාපනය හදාරනුයේ කොළඹ 10 ආනන්ද බාලිකා විද්‍යාලයේය. අ.පො.ස.( උ.පෙ.) තාක්ෂණ විද්‍යව හදාරන ඇය මීට පෙර ඉගෙනුම ලැබුයේ කොළොන්නාව බාලිකා විද්‍යාලයේය. එහිදීද ඇය ජපන් භාෂා, ඡායාරුප,මාධ්‍ය තාරකා විද්‍යා ආදි සමාජවල ක්‍රියාකාරි සාමාජිකාවක වූවාය.
“මගේ මෙම නිර්මාණයයන් කිරීම සඳහා කොලොන්නාව බාලිකා විද්‍යාලයේ සහ ආනන්ද බාලිකා විද්‍යාලයේත් විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන්ගේ උපදෙස් උදව් නිතරම ලැබුණා. මගේ තාත්තාත් මේවාට අවශ්‍ය උපාංග ගෙනැවිත් දීලා අවශ්‍ය තැන්වලදී දැනුමත් ලබා දෙනවා. ”