වාහන ආනයනයෙන් නොසිතූ ආදායමක්

වාහන ආනයනයෙන් නොසිතූ ආදායමක්

-ශිරාන් රණසිංහ-
රජයේ වාහන ආනයනයෙන් අපේක්ෂා කළ ආදායම රුපියල් කෝටි 46,000ක් (බිලියන 460) ලෙස ඉලක්ක කර තිබූ මුත් වසර අවසානයේ දැනට පවතින තත්ත්වයට අනුව රුපියල් කෝටි 70,000 (බිලියන 700) දක්වා වැඩි වනු ඇතැයි වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න මහත්මිය කියා සිටියි.
මෙය අපේක්ෂා නොකළ වාහන ආනයනයක් බවද ඒ මහත්මිය පැවසුවාය.
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23දා) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී සභාපතිවරයා කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහත්මිය මේ බව කියා සිටියාය.
මේ වන විට ණයවර ලිපි ඩොලර් මිලියන 1570ක් ඉකුත් සැප්තැම්බර් 16 වනතුරු විවෘත කර ඇතැයි ද වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න මහත්මිය කියා සිටියාය.
මෙම වසරේ දී සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි ද එහිදී හෙළි විය. මේ අතර මෙම වසර තුළ සංචාරකයන් මිලියන 2.4ක් 2.5ක් අතර ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය සඳහන් කර තිබිණි.

Share This