වසර දෙකකට පසු අග්බෝ හස්තියා රැළට එකතු වෙයි

වසර දෙකකට පසු අග්බෝ හස්තියා රැළට එකතු වෙයි

(තිරප්පනේ සමන් පෙරේරා)
වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කීපයක සැරිසරමින් ජීවත් වූ අග්බෝ හස්තියා මේ වන විට ඇතුගේ නිජබිම වූ මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතයට පැමිණ අලි රංචුවක් සමඟ වාසය කිරීමට පටන් ගෙන ඇත.
ඉකුත් 2023 වසරේ දී බඳින තුවක්කුවකට හසුවී වෙඩි වැදීමකින් ඉදිරි වම් පාදය තුවාල ලබා තිරප්පනේ වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සිටිය දී අග්බෝ ඇතු සොයා ගන්නා ලදී. එතැන් සිට පශුවෛද්‍යවරුන්ගේ සුවිශාල කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස අග්බෝ ඇතු සුවය ලැබීය. එමෙන් ම තිරප්පනේ වනිජීවී නිලධාරීන් විසින් ඇතු පිළිබඳ වූ නිරන්තර සොයා බැලීමත් ඇතුගේ ආරක්ෂාවට පිටිවහලක් විය.
සුවය ලැබූ අග්බෝ ඇතු එතැන් පටන් තිරප්පනේ බොහෝ ගම්මානවලට වැදී කෘෂි අස්වනු විනාශ කරමින් වාසය කළ ද තිරප්පනේ ජනතාවගේ නොමද ආදරය හා ආරක්ෂාව යටතේ වසර දෙකක් ජීවත්වීම ද අලි මිනිස් සහජීවනය පිළිබඳව ලොවට කියාපාන වටිනා කාලපරිච්ඡේදයක් විය.

අග්බෝ ඇතුගේ ගමන් මාර්ගය කලාවැව, තිරප්පනේ හා මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය හරහා වැටී තිබේ. ඒ අනුව වසර දෙකකට පසු අග්බෝ හස්තියා මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතයට පැමිණ රැළක් සමඟ එකට එකතු වී වාසය කිරීමට පටන්ගෙන ඇති අයුරු මේ දිනවල දැකගත හැකිය.

Share This