ලෙබනනයේ මරණ 900කට ආසන්න වෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 886 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 2,141 දෙනෙකු තුවාල ලබා ඇත.

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ඊශ්‍රායලය සිදුකරන ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හේතුවෙන් මෙම මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ලෙබනනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට සහන සැලසීම සඳහා කටයුතු කළ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද මෙම ප්‍රහාර හේතුවෙන් මියගොස් හෝ තුවාල ලබා ඇත.

මාර්තු 2 වනදා සිට මේ දක්වා කාලය තුළ සෞඛ්‍ය සේවකයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

අඛණ්ඩව එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් තම නිවෙස් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටින බව සඳහන් වේ.

Share This