ලාංකීය රේඩියෝ කලාව උඩුයටිකුරු කළ දැවැන්තයා, ‘ශ්‍රී’ ට 24යි – FM 100 | 100.2, ‘ශ්‍රී’ ලංකාවටම එකයි

ලාංකීය රේඩියෝ කලාව උඩුයටිකුරු කළ දැවැන්තයා, ‘ශ්‍රී’ ට 24යි – FM 100 | 100.2, ‘ශ්‍රී’ ලංකාවටම එකයි

රේඩියෝ කියූ සැනින් මතකයට නැඟෙන, ලාංකීය රේඩියෝ වංශකතාවේ දැවැන්තයා ‘ශ්‍රී FM අභිමානවත් 24 වන සංවත්සරයට’ තවත් ඇත්තේ දින 04ක කාලයක්.

අපේ මේ සූදානම රේඩියෝකරණයට නවමු හැඩයක් එක්කාසු කළ, ශ්‍රාවක සිත් ඇද බැඳගත් රේඩියෝ කලාවක් කියාදුන් ‘ශ්‍රී FM’ දශක දෙකකටත් එහා ගිය කාලයක් පුරාවට මෙතෙක් ආ ගමන් මඟ පිරික්සා බැලීමටයි.

දිනය, 2000 වසරේ අගෝස්තු 11.

ඒ, මෙරට පෞද්ගලික ගුවන්විදුලි ගමන් මඟෙහි ආරම්භය සනිටුවහන් කළ අභිමානවත් දිනය. එදින ශ්‍රී FM මැයෙන් ශ්‍රාවකයින් හට තිළිණ වූයේ, 1996 වසරේ ඇරඹි ‘සවණ FM’ ගුවන්විදුලි නාලිකාවයි.

ශ්‍රී FM ආරම්භය ලාංකීය රේඩියෝ කලාවට අලුත් අත්දැකීමක් සේ ම, දැවැන්ත අභියෝගයක් ද වුණා කිව්වොත් නිවැරදියි.

මන්ද, ශ්‍රී ආරම්භයේ පටන්ම ශ්‍රාවක සිත් ඇද බැඳගැනීමට නිරායාසයෙන්ම සමත්කම් දැක්වීම නිසාවෙන්.

එලෙස ඉතාමත් කෙටි කාලයක් තුළ හදවත් අතර ළැඟුම් ගත් ශ්‍රී නාමය ‘රටේ අංක 01 රේඩියෝ නාලිකාව’ බවට පත්වෙන්නෙ, ශ්‍රී FM වටා එක්කාසු වුණු ශ්‍රාවකයින්ගේ ‘හද සම්මානයත්’ තමන් සන්තක කරගනිමින්.

ඒ අනුව ශ්‍රී FM, මෙතෙක් ආ ගමන් මඟ තුළ ශ්‍රාවකයින් අතර ‘රේඩියෝවට සවන්දීම පුරුද්දක්’ කළා පමණක් නොව ‘ලාංකීය රේඩියෝ කලාව තුළ දැවැන්ත සංකේතයක්’ ද, ‘ශ්‍රී’ නමින් නිර්මාණය කර අවසන්.

කවදත් ‘ජනතාව අංක එක’ ලෙස අදහන ශ්‍රී, එතෙක් මෙතෙක් ඉතිහාසයේ ‘ජනතාව තනි නොකළ දැවැන්ත මෙහෙයුම්’ රැසක පුරෝගාමියා ද වෙයි.

ඒ අතර සුවිශේෂී ‘ප්‍රජා සත්කාරක වැඩසටහන්’ කවදත් පෙරමුණ ගන්නවා ඇති.

ආරම්භයේ පටන් මේ දක්වා රටේ උද්ගත වූ සුනාමි ව්‍යසනය, ගංවතුර, නායයෑම්, කොවිඩ් වසංගතය යනාදි ස්වභාවික ව්‍යසන ප්‍රමුඛ කොටගත් සෑම දුෂ්කර අවස්ථාවකදී ම ශ්‍රී FM ජනතාවගේ පැත්තෙන් සිටගත්තේ, ‘ශ්‍රී ඔබ ළඟින්ම’ බැව් නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ කරමින්.

එපමණක් නොව රේඩියෝ නාලිකාවක් ලෙස හුදු ප්‍රවර්ධන ක්‍රියාවලියකට එහා ගිය ‘සමාජමය වටිනාකමක්’ ලබාදෙනුවස්, ශ්‍රී FM කරනු ලබන ප්‍රවර්ධන කලාව වඩාත් අරුත්බර එකක් බවත් සඳහන් කළ යුතුමය.

ඊට, ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වුණු ‘ශ්‍රී FM බඩු මල්ල’ සාක්ෂි දරනවා ඇති.

ආරම්භයේදී රුපියල් 5000ක් වටිනා බඩු මල්ලකින් ඇරඹි එය, වත්මනෙහි රුපියල් 50 000 දක්වා වර්ධනය වී ඇත්තේ ඔබ ශ්‍රී ට දක්වන ආදරයට පෙරළා කරන ගෞරව කිරීමක් ලෙසයි.

ඊට අමතරව,

  • ගෙයක් දිනන්න (2003 | 2004)
  • ලොතරැයි කූඩුවලට දිනුම් (2002)
  • ශ්‍රී බස් promotion (2002)
  • ශ්‍රී සතිපොළ
  • ශ්‍රී FM ගමින් ගමට
  • ශ්‍රී බස් මහා පුදුමය
  • ශ්‍රී FM අහන්න – මිලියනයක් දිනන්න
  • ශ්‍රී මැණිකක් දිනන්න
  • ප්‍රජා ශාලාවක් ගමට
  • ශ්‍රී FM ඇතෙක් දිනන්න
  • ශ්‍රී FM සත්කාර රෝහල
  • ශ්‍රී FM සල්ලි වැස්ස
  • ශ්‍රී FM දින 100
  • ඉරිදා නිධානය
  • මධ්‍යහ්න නිධානය
  • ස්වර්ණ ශ්‍රී පුදුමය

යනාදි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන් රැසක් මේ දක්වා ක්‍රියාත්මකව ඇති බැව්, ඔබට කියන්නේ 24 වසරක නිහතමානී ආඩම්බරයෙන් යුතුවයි.

මෙරට තුළ ක්‍රියාත්මක අනෙකුත් රේඩියෝ නාලිකාවන්ගෙන් වෙනස් වන ශ්‍රී FM, ලාංකීය අභිමානය පෙරටු කොටගත් දේශීය අනන්‍යතාව සහ හෙළ සංස්කෘතිය පෝෂණය කරනු ලබන වැඩසටහන් ශ්‍රාවකයින් වෙත තිළිණ කරනුයේ ‘ගුවන් කාලයට නිසි වටිනාකමක්’ එක්කාසු කිරීමේ පරම ආදර්ශය මත සිටයි.

එමෙන්ම ගුවන්විදුලි නාට්‍ය කලාවට ද ශ්‍රී FM ලබාදී ඇත්තේ, සුවිශේෂී ස්ථානයක්. ඊට, ‘කණාමැදිරි රාත්‍රිය’ ප්‍රබල ලෙස සාක්ෂි දරනවා ඇති.

කලාවට කවදත් මුල්තැන් දුන් FM නාලිකාවක් ලෙස, ප්‍රවීණ සහ නවක කලා තරු වෙනුවෙන් ශ්‍රී වෙන්කර ඇති ඉඩ අතිමහත්.

හරවත් සහ නැවුම් වැඩසටහන් පෙළගැස්මකින් සමන්විත ‘විසිහතර පැයේ රේඩියෝව’ ශ්‍රී FM, මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් මාධ්‍යවේදීන් ප්‍රමාණය ද සුළුපටු නොවේ.

ලාංකීය රේඩියෝ කලාවට මෙවන් දැවැන්ත මෙහෙවරක් ඉටුකළ ශ්‍රී FM, රේඩියෝ අහන රේඩියෝ රසවිඳින ‘සබුද්ධික ශ්‍රාවක පරපුරක්’ නිර්මාණය කරමින් එළඹෙන 11 වැනිදා සිය 24 වන සංවත්සරය සමරන්නේ මහත් ආඩම්බරයෙන් බව නැවත නැවතත් කිව යුතුය.

ඒ අනුව අප සමඟ කළ සාකච්ඡාවකදී, ශ්‍රී FM නාලිකා ප්‍රධානි භාෂිනි සමරසිංහ සඳහන් කර සිටියේ ශ්‍රී සමඟම රැඳෙන ආදරණීය ශ්‍රාවක ඔබ වෙනුවෙන් ඉදිරියටත් පෙරළිකාර ගමනක නියැලෙන බවයි.

Share This