ලක්ෂ 8ක් වැය කර වැලන්ටයින් සැමරූ අමතු හොරා අල්ලයි
සොරකම රැකියාව කරගනිමින් නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සැකකරුවෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විවිධ උකස් මධ්‍යස්ථානවල තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් අද (20) දින සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු පසුගිය පෙබරවාරි 12 වන දින නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගෙන ඇති බවයි.
එම භාණ්ඩ උකස් කර ලබාගත් රුපියල් ලක්ෂ 8ක මුදලක් වැය කරමින්, පෙබරවාරි 14 වන දින සිය බිරිඳ සමඟ සුපිරි ලෙස වැලන්ටයින් සමරා ඇති බව පොලිසිය පවසනවා.
නිට්ටඹුව, රන්පොකුණගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මොහු තිදරු පියකු වන අතර දැඩි ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් වන බවත්, ඔහු දිනකට මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 50,000ක් පමණ වැය කරන අතර, එම මුදල් සොයා ගැනීම සඳහා ඔහු රාත්‍රී කාලයේදී නිට්ටඹුව සහ අත්තනගල්ල ප්‍රදේශවල නිවාස බිඳ මෙම සොරකම් සිදු කර ඇති බවත් පොලිසිය පවසනවා.
සැකකරු සන්තකයේ තිබී රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදියක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මොහු ගෙවල් බිඳුම් සහ සොරකම් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු 08ක් සහිත පුද්ගලයෙකු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
