රුව රැකගන්න තේ කොළ සත්කාර
ලස්සන වෙන්න තියෙනවා නම්, ඕනෑම අවදානමක් ගන්න තරුණ පිරිසක් අද වෙද්දි බිහිවෙලා ඉන්නවා.
මේ තත්ත්වය කෙතරම් දරුණු ද කියනවා නම්, විය හැකි අතුරු ආබාධ ගැන දැන දැනත් විෂ සහිත දෑවලින් රුව රැකගන්න උත්සාහ ගැනීම පෙන්වා දෙන්න පුළුවන්.
ලේසිය පහසුව වගේම ඉක්මන් ප්රතිලාභ හේතුවෙන් කෘත්රිම දේවල් කෙරෙහි නිරායාසයෙන්ම යොමුවුණාට මොකද, අදටත් ස්වභාවික ක්රමයන්ගෙන් රුව රැකගන්න උත්සාහ ගන්නා පිරිස් ද නැතුවාම නොවෙයි.
ඔබත් එවන් අයෙක් නම්, මේ සටහන ඔබට වැදගත් වේවි.
”තේ කොළ” කියූ හැටියේම අපිට මතක් වෙන්නෙ උණුසුම් තේ කෝප්පයක්නෙ.
නමුත් ඔබ දැනන් හිටියාද, තේ කොළවලින් ඔබේ ඔය රුව ලස්සන කරගන්න පුළුවන් විත්තිය.
මේ වෙනුවෙන් ඔබට පහසුවෙන් ම, ඉවතලන Tea Bag උපයෝගී කරගත හැකියි.
තේ කුඩු ආම්ලිකතාවයෙන් ඉහළයි. ඒ මඟින් හිරු එළියට නිරාවරණයව පිළිස්සුණු සම යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි, දෙපා සහ යටිපතුල් සම්බන්ධ ගැටළු රැසකට ද තේ කොළ විසඳුම් ගෙනෙනවා.
මඳ උණුසුම් ජලය සහිත බේසකමකට භාවිතා කළ තේ බෑගයක් දමා එය තුළට දෙපා දමාගෙන සිටීමෙන් පාදවල ඇති දුගඳ හා චර්ම රෝග පහකර ගැනීමේ හැකියාව ලැබෙනවා.
පාදවලට විතරක් ම නෙවෙයි, මෙයාකාර ජලයෙන් ස්නානය කිරීම ඔබේ මුළු සිරුරේම ඇති චර්ම රෝග සුව කිරීමට හේතු වනවා.
රුව රැකගන්නා ගමන් ඔබේ සමේ ඇති වන තුවාල වැනි ආසාදනයන්ට ද ප්රතිකාර තේ කොළ සතුයි.
ඒ අනුව තේ කුඩුවල ඇති කහට මගින් සම මත ඇති පිළිස්සුම් වේදනා, සුළු කැපුම් තුවාල වේදනා සමනය කරවයි.
ඔබේ දෑස් අසීමිත ලෙස වෙහෙස වනවා නම්, පාවිච්චි කරන ලද Tea Bag දෑස් මත තබාගැනීම ඔබට සුවයක් ගෙනෙනු ඇති.
එමෙන්ම කුරුලෑ ඇති කරන බැක්ටීරියා සමඟ සටන් කර සමේ pH අගය පවත්වා ගැනීමට ද තේ කොළ ඔබට උපකාරි වෙයි.