රුපියල් 1392 කට ගත් ලයිසන් එක දැන් රුපියල් 219කට ගන්න පුළුවන් – RMV

වසර 17 කට පෙර රුපියල් 1392 කට ලබාගත් බව කියන රියැදුරු බලපත් කාඩ්පතක් 2026 වසරේදී රුපියල් 219 ක් වැනි මිලකට ලබාගැනීමට හැකිවී ඇති බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියයි.

2009 දී රියැදුරු බලපත්‍ර කාඩ්පතක් රුපියල් 1392 කට ගෙන කැබිනට් අනුමැතිය ඇතිව කාලයක් තිස්සේ ටෙන්ඩර් කැඳවීමක් නැතිව මිලදී ගෙන ඇතැයි ද එම නිලධාරියා කීය. 2025 වර්ෂයේදී එම කාඩ්පතක් රුපියල් 263 බැගින් කාඩ්පත් ලක්‍ෂ 08 ක්ද, 2026 වර්ෂයේදී එම කාඩ්පතක් රුපියල් 219 බැගින් කාඩ්පත් ලක්‍ෂ 10ක් ද ලබාගැනීමට ටෙන්ඩර් මගින් හැකිවී ඇතැයි හෙතෙම කියා සිටියේය.

කාඩ්පත් නොමැති නිසා ගොඩගැසී තිබූ රියැදුරු බලපත්‍ර ලක්‍ෂ 05 ක් පමණ මේ වනවිට මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා පැවසීය. මේ වනවිට මුද්‍රණය කර හිමිකරුවන් රැගෙන නොගිය පැරණි අංක තහඩු ලක්‍ෂ දෙකහමාරක් පමණ ප්‍රධාන කාර්යාලයේ සහ උප කාර්යාලවල ගොඩගැසී තිබෙන බවත් ඒ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

 

Share This