රාජ්‍ය සේවකයන් 750,000කගේ රැකියා අනතුරේ

රාජ්‍ය සේවකයන් 750,000කගේ රැකියා අනතුරේ

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පවසා බලයට ආ ආණ්ඩුව රාජ්‍ය සේවකයන් 750,000ක් සේවයෙන් ඉවත් කරන බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඒ, දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීම සඳහා නව කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවතේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

“ආණ්ඩුව මැතිවරණ කාලයේදී දීපු පොරොන්දු නෙවෙයි ඉටුකරමින් සිටින්නේ. ආණ්ඩුව කරන ප්‍රකාශවලින් දේශපාලන දඩයමකට සූදානම් වන බව පේන්න තිබෙනවා. ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ඉවත් කරන බව ප්‍රකාශ කළත් ඒ සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද කියලා ප්‍රකාශ කරලා නැහැ.

එම තත්ත්වය තුළ දේශපාලන පළිගැනීමට ලක්වන සියලුදෙනාම වෙනුවෙන් පෙනී සිටීමට අපගේ පක්ෂයේ නීතිඥ සංගමය තීරණය කළා. ඒ අනුව තමයි දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීම සඳහා මෙම කාර්යාලය ආරම්භ කළේ.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ යම් දඩයමක් ක්‍රියාත්මක වන බව පේන්න තිබෙනවා. ඒ තුළ වෘත්තීය සමිති නායකයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව අපි කටයුතු කරනවා.

මේ ආණ්ඩුවේ නොහැකියාව සමාජගත වෙලා අවසන්. මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුව දැන් සූදානම් වන්නේ යහපාලන ආණ්ඩුව වගේ දේශපාලන මර්දනය ගෙනල්ලා අපි හොරා ඇල්ලුවා ඔන්න හොරු රිමාන්ඩ් කළා කියලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න. එක පැත්තකින් ආණ්ඩුවට මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා.”

Share This