රශ්නගත ගල්අඟුරුවලින් යන්ත්‍රෝපකරණ වලට හානියක් නැහැ

බාල ගල්අඟුරු සැපයීමේ ක්‍රියාවලිය ගැනත් පරීක්ෂණ අවශ්‍යයි –
කෝප් සභාපති

මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නැතැයි පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් ) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි

බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණද, එය මේ අවස්ථාවේ රටෙහි බලශක්ති අවශ්‍යතාවය අනුව ගැටළුවක් නොවන බවත් සභාපතිවරයා පැවසීය.
ඉදිරියේදී විදුලි නිෂ්පාදනයට අවශ්‍ය වන ගල් අඟුරු තොග ප්‍රමාණවත්ව බලාගාරය සතුව ඇති බවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට එක් වූ අවස්ථාවේදීයි.

මෙම ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන ක්‍රියාවලියට අදාළ සියලුම කටයුතු පරීක්ෂාවට ලක් කරන ලද අතර, ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව කාරක සභාව සිය අවධානය යොමු කළේය.

රටෙහි පවතින විදුලි අවශ්‍යතාවය 35% – 40% පමණ මෙම බලාගාරය විසින් නිපදවන බවත්, විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 845 දෙනෙකුගෙන් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් බලාගාරය සමන්විත වන බවත්, ලක්විජය බලාගාරයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ඉහත තොරතුරු අනාවරණය වූ බවද සභාපතිවරයා පවසයි.
මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම විදුලි බලාගාරය මෙන්ම, එකම ගල් අඟුරු බලාගාරය වන අතර එය මෙරටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% – 40% පමණ නිපදවනු ලබයි. ගල් අඟුරු ගොඩබෑමෙන් පසු ගබඩා කර තැබීම සඳහා අක්කර 47කින් යුක්ත අංගනයක් බලාගාරය සතු වන අතර මුහුද රළු නොවන මාස 06ක කාලයක් ඇතුළත ගල් අඟුරු ගොඩ බෑම සිදු කර සම්පූර්ණ වර්ෂය සඳහාම භාවිතයට ගන්නා බවද කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත. මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව ද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

ගල්අඟුරු සාම්පල ලබා ගැනීම හා ඒවා විද්‍යාගාර වෙත යොමු කිරීමට අදාළ සමස්ත ක්‍රියාවලියෙහි ගැටලු පවතින බැවින්, ඒ පිළිබඳව සාකච්ඡා කර සුදුසු තීන්දු ගෙන ඉදිරියේදී ගැටළු මතු නොවන ලෙස මෙම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීමටත්, ස්වාධීන, ප්‍රතීතනය වූ පරීක්ෂණාගාරයකින් (Independent Accredited Laboratory) මෙම ගල් අඟුරු පරීක්ෂා කිරීම සුදුසු බවත්, එම පහසුකම පවතින විද්‍යාගාර මෙම කටයුත්ත භාර ගත යුතු බවත්, බලාගාරය සතු විද්‍යාගාරය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ක්‍රමාංකණය කර භාවිත කිරීම වැදගත් බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

ආනයනය කළ ගල් අඟුරුවල තත්ත්වය ලක්විජය බලාගාරයේ ජනනය සඳහා සුදුසු පරාසයේ නොපවතින බැවින් නිෂ්පාදිත විදුලි ප්‍රමණයේ යම් අඩුවක් පවතින බවත්, මෙම තත්ත්වය අරමුණු සහගත ලෙස සිදු කරන ලද්දක්ද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම ස්ථානීය පරීක්ෂාවේ නිරීක්ෂණ හා මේ සම්බන්ධයෙන් සකස් කරන විගණන වාර්තාවේ නිරීක්ෂණ පාදක කරගනිමින්, ගල් අඟුරු ආනයනය ආරම්භයේ සිට මේ දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් කෝප් සභාපතිවරයා පැවසීය.

Share This