රටේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව -අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙරට එයි

රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවී ජාතික ප්‍රමුඛතාවක් ලෙස බිම් මට්ටමේ සිට ප්‍රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුයි.

රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවී ජාතික ප්‍රමුඛතාවක් ලෙස බිම් මට්ටමේ සිට ප්‍රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 13 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු 2026–2030 සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් (SUD) කළමනාකරණය , ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම උදෙසා වන ජාතික උපාය මාර්ගික සැලැස්ම (The National Strategic Plan for the Management, Treatment and Rehabilitation of Persons with Substance Use Disorders) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථික අභියෝගයන්ට විසදුම් සෙවීම සඳහා සංවර්ධනය කරන ලද යෝජිත ජාතික උපාය මාර්ගික සැලසුම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු විය. සම්බන්ධීකරණය සහ සාක්ෂි මත පදනම් වූ ජාතික ප්‍රවේශයක් හරහා මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය සහ නැවත ඒකාබද්ධ කිරීමේ සේවාවන් ශක්තිමත් කිරීම මෙම උපායමාර්ගික සැලැස්මේ අරමුණ වී ඇත.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාම, ප්‍රජා පාදක පසු විපරම් සහ සාමාන්‍ය ජීවිතයට ඇතුළු වන පුද්ගලයින් සමාජයට නැවත හුරු කිරීම යන අංශවල පවතින හිඩැස් සහ ගැටළු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙම සැලැස්ම මඟින් ඉදිරිපත් කර ඇති පෙර සහ මූලික සෞඛ්‍ය සේවය හරහා රෝගී තත්ත්වය කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම, රෝහල් පාදක ප්‍රතිකාර සහ පසු විපරම් සේවා වැඩිදියුණු කිරීම, නේවාසික පුනරුත්ථාපන පහසුකම් පුළුල් කිරීම සහ ප්‍රජා පාදක පුනරුත්ථාපන සහ නැවත භාවිතය වැළැක්වීමේ වැඩසටහන් වැඩි දියුණු කිරීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්, ගර්භනී කාන්තාවන්, දරුවන් සිටින මව්වරුන් සහ බන්ධනාගාර රැඳවියන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහාය ලබා දීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික දායකත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මත්ද්‍රව්‍ය උවදුර පවුල් මට්ටමේ සිට සමස්ත ජාතියේ සමාජ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන බරපතල සමාජ අර්බුදයක් දක්වා පරිණාමය වී ඇති බව අවධාරණය කළා ය. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සමාන ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

ජාතික උපාය මාර්ග සලසුමෙහි ප්‍රධාන අංගයක් ලෙස මහජන දැනුවත් කිරීම සහ වගකිවයුතු මාධ්‍ය වාර්තාකරණයේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිස් සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගී වූහ.

Share This