රටම එකට මත්ද්‍රව්‍ය මෙහෙයුමෙන් සැකකරුවන් 3,361ක් දැලේ

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 03 තුළ පුද්ගලයන් 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව ගතවූ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 3,370කදී සැකකරුවන් 3,361 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
ඉන් සැකකරුවන් 06 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 72 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 38 දෙනකු පුනරුත්ථාපනයට සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වන අතර දින 03 ක් තුළ සිදු කළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 91ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 185ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
