යූටියුබ් සුදාට එරෙහි නඩුවට දින නියම කරයි

(අකිලා නදීෂානි බණ්ඩාර)
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් යූටියුබ් කරුවකූ වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 02 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කරයි.
මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා මීළඟ දින අධිකරණයට දැනුම් දෙන බවයි.
ඒ අනුව මෙම පෙත්සම දෙසැම්බර් මස 02 වැනිදා යලි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි.
සුදත්ත තිලකසිරි මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ පළ කළ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.