යතුගාන මිනී පෙට්ටිය දැක නැගිටින විපක්ෂය

යතුගාන මිනී පෙට්ටිය දැක නැගිටින විපක්ෂය

(ශිරාන් රණසිංහ)

අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ඉකුත් සතියේ සිකුරාදා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මුළු රටම එම නඩු තීන්දුව දෙස බලා සිටියේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් රිමාන්ඩ් වේද යන සැකය කොයි කවුරුත් අතර ඇති වූ බැවිනි. රනිල් වික්‍රමසිංහ සමඟ බොහෝ කලක් විරුද්ධ දේශපාලන මත දැරූ පක්‍ෂ නායකයන් ද මේ නඩු තීන්දුව සිදුවන අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ආවේ දේශපාලනයේ සතුරු මිතුරු කඳවුරු සදාකල් නොපවතින බවට යළිත් තහවුරු කරමිනි.
නීතිය කාටත් පොදුය. ගරු අධිකරණය යනු යුක්තිය පසිඳලන තැනය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් පසුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපතිවරයා පැය හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී ගරු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ යුක්තිය පසිඳලනු පිණිසය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාව මෙපරිදිය.
මෙරට ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මස ඇමෙරිකාවේ සහ කියුබාවේ නිල සංචාර දෙකකට ගියේය. මෙම නිල සංචාරය අවසන් කර 2023 සැප්තැම්බර් 23 සහ 23 යන දිනවල ලන්ඩනයේ පුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයකට ගොස් ඇත. එය පෞද්ගලික ආරාධනාවක් බව ද කියැවේ. ඒ සඳහා රජයේ මුදල් ලක්‍ෂ 166ක් වියදම් කිරීම හිටපු ජනාධිපතිට එල්ල වූ චෝදනාවය. මෙම රජයේ මුදල් අවභාවිතා කිරීමක් යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයේදී කියා සිටියේ එංගලන්තයේ තානාපති කාර්යාලය හරහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙම ආරාධනාව ලැබී තිබූ බවයි. එනිසා එය නිල සංචාරයක් යැයි ඒ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබීය.
පැය හතරකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බලා කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නඩු තීන්දුව ප්‍රකාශ කළේ මේ ආකාරයට ය.
“නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති කරුණු අනුව සැකකරු ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා වීම සිවුශේෂී කරුණක් නොවන බවත්, සැකකරුගේ රෝගී තත්ත්වයට බන්ධනාගාරගය තුළ ප්‍රතිකාර නොමැති බවට කරුණු ඉදිරිපත්ව ඇති බවත්, සැකකරුගේ හා ඔහුගේ බිරියගේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණු වශයෙන් සලකා බැලීමට හැකියාව නැති බවත්, සඳහන් කරමින් සැකකරු 26 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළේය.
මෙකී නඩුකරය පිළිබඳ දැන් මේ රටේ සියලුදෙනා සියලු දේ දන්නා බව පැහැදිලිය. මේ අතර විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් එකට එක් වූයේ ඉකුත් සෙනසුරාදා (23දා) ය. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ මල් පාරේ පිහිටි කාර්යාලයේදී ය.
මෙම විපක්‍ෂ පක්‍ෂ නායකයන් එකට එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති සාධකයක් බවට පත්ව ඇත. මෙම සාකච්ඡාවෙන් පසු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ රැසක නායකයන් ඇතුළු දේශපාලනඥයන් එක්ව සිටියහ.
හටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ, මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක ආදී වශයෙන් විශාල පිරිසක් මෙලෙස එකට එක්ව සිටි අයුරු දක්නට ලැබිණ.
“ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්‍ෂණ කෙමෙන් කෙමෙන් වියැකී යමින් තිබෙනවා. දේශපාලන පක්‍ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ සියලු දෙනා එක්විය යුතුයි”
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ එයයි.
මීට පෙරාතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2019 ජනාධිපතිවරණය සමයේ කළ කතාවක් දැන් සිහියට නැඟේ.
“රට ආයේ ගොඩනඟන්න විනය නීතිය අත්‍යවශ්‍යයි. විනය නීතිය නැතුව රටක් හදන්න බෑ. මන්නාරමෙන් තෙල් මතුවුණත් අහසින් රත්තරන් වැස්සක් වැටුණත් විනය නීතිය නැතිව රට ගොඩනඟන්න බෑ.” එදා මහින්ද රාජපක්‍ෂ කී කතාවය. 2019 දී ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ විධායක ජනාධිපති පුටුවේ වාඩි කළේ විනයගරුක, නීතිගරුක රටක් හදනු පිණිසය. 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළෙත් රටේ නීතිය, විනය හදා රට ගොඩනැඟීමටය. කොටින්ම මෛත්‍රිපාල ආවේ ‘යහපාලන’ ලේබලය අලවාගෙනය.
2024 පැවැති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා බලයට පත් කළෙත් මේ රටේ නීතිය, විනය මත රට ගොඩනැඟීමටය. එම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා යමින් ජනතාවට පොරොන්දු වූයේ හොරු අල්ලා නීත්‍යනුකූලව දඬුවම් දෙන බවය. මහ බැංකුව කඩා එකී චෝදනාවට ලක්ව සිටින අර්ජුන් මහේන්‍ද්‍රන් මෙරටට ගෙනැවිත් නීතියෙන් දඬුව ම්දෙන බවය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අල්ලා එම ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට පොරොන්දු වෙමිනි. මේ රටේ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරන බවය. ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ මාලිමාවේ තේමාව එයයි. අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසිනි. ඉන් පසුව මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159ක් දුන්නෙත් මේ රටේ ජනතාවය. එය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට එහා ගිය විශාල බලයකි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්නට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිට, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට හැකියාවක් ලැබුණේ නැත. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී ය. මේ ජනාධිපතිවරු තුන්දෙනාටම කළ නොහැකි වු දේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් කර පෙන්වන තුරු කාදිනල් හිමිත්, කතෝලික සභාවත් කතෝලික ජනතාවත් ඇතුළු සමස්ත ජනතාවම බලා සිටිති.
මීට අමතරව යහපාලන කාලයේදී මහ බැංකු බැඳුම්කර මගඩිය කර මෙරටින් පැනගොස් සිටින අර්ජුන් මහේන්‍ද්‍රන් අල්ලා මෙරටට ගෙනැවිත් නීතියෙන් දඬුවම් කරන තුරුද ජනතාව බලා සිටිති. ඉකුත් පාලන කාලවලදී මෙරට සිදු වූ ඝාතන සිද්ධීන්වලට වගකිවයුතු පාර්ශ්ව ද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
ඉකුත් වසරකට ආසන්න කාලයේදී කිසි දිනෙක අත්අඩංගුවට නොගන්නා බොහෝ පිරිසක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේදී අත්අඩංගුවට ගැනිණ. අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනවලින් පසුව අදාළ සැකකරුවන්ට චෝදනා පත්‍ර භාරදී අධිකරණය හමුවටට ද ගෙන ආහ.
හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මේ වන විට පිළිවෙළින් වසර විසිපහ සහ වසර විස්ස බැගින් සිර දඬුවමකට යටත් කොට ඇත. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වරදකරුවන් වූ ඒ දෙදෙනා සිරගත කළේ ගරු අධිකරණය ය. යුක්තිය පසිඳලන අධිකරණය කෙරෙහි කොයි කවුරුත් විශ්වාසය තබා සිටිති. හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් හා ඔහුගේ නෑනා වන එස්.එම්. චන්‍ද්‍රසේනගේ බිරිය ශාන්ති චන්‍ද්‍රසේනත් මේ වන විට සිර දඬුවමකට ලක්කර සිටිති.
රජයේ මුදල් අවභාවිතය, මිනී මැරුම් ඇතුළු විවිධ චෝදනා යටතේ හිටපු මැති ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයන් රැසකට එරෙහිව විමර්ශනත්, නඩුකරත් තාමත් සිදුවෙමින් තිබේ. හිටපු මැති ඇමැතිවරු කිහිපදෙනකුටම මේ වන විට අධි චෝදනාද භාර දී ඇත. 2015 දී යහපාලන සමයේදී බොහෝ පිරිසකට එරෙහිව නඩු ගොනු කළත්, විමර්ශන සිදුකළත්, කුමන හෝ හේතුවක් මත එම විමර්ශන අවසන් නොවූ බව ද පැහැදිලිය. දැන් නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක වන බවට සැකයක් නැත.
පොදු විපක්‍ෂයට දැන් පොදු මහජනතාව නැත. එක්සත් ජාතික පක්‍ෂය බෝඩ් ලෑල්ලකට සීමා වී ගොසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද ඒ ගොඩේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා ගොඩනඟාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ද සිටි ජනතාව දැන් එම පක්‍ෂයෙන් ඉවත්ව ගොසිනි. සමගි ජන බලවේගය (සජබ)ට තාමත් යම් ජන පදනමක් ඇත. ඉකුත් ජනාධිපතිවරණයේ මෙන්ම මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් ජනතාව සිටින්නේ කොතැනදැයි කාටත් දැක බලා ගත හැක. පැවැති පළාත් පාලන මැතිවරණයේදී පෙරකී පක්‍ෂවලට යම් යම් ඡන්ද පදනමක් තිබූ මුත් එය ‘ගම කේන්‍ද්‍ර’ වූ ගමේ ඡන්කයක් නිසා ජනතාව සිටින්නේ කා සමඟද යන්න ගැටලුවක් ද පැනනැඟී ඇත.
වරක් හිටපු ජනාධිපති කී තවත් කතාවක් සිහි වේ.
ගොඩක් දේවල් කියන්න ගියොත් ගොඩක් අය තරහ වේවි. මා වටා ඉන්න ගොඩාක් අයට මගේ වටේ ඉන්න අයට කූඩුවලට යන්න වෙනවා. උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. ඇප දෙන්නෙත් නෑ” කියාය.
ඇත්තටම මේ රට නිදහස ලබා වසර 73කි. ගෙවීගිය දශක කිහිපයේදී මේ රට පාලනය කළේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් කේන්ද්‍ර කරගෙනය. ‘බලය’ හමුවේ නීතිය, යුක්තිය, සාරධාරණය පිටුපස දොරින් පළාගිය බව මේ රටේ ජනතාව හරියටම අවබෝධ කර ගත්තේ 2022 වසරේදී ය. ඒ මේ රට බංකොලොත් වූ පසුවය. මේ රටේ ජනතාව මේ හැටි දුක්විඳිය යුතු පිරිසක් නොව දේශපාලකයන් විසින් ජනතාව මහ නරකාදියට තල්ලු කර දමා ඇත. රැකියාවක් ලබා ගැනීමට, දරුවෙක් පාසලකට දමා ගැනීමේ සිට ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම ලබා ගැනීමේ සිට ඡන්දදායකයා දේශපාලනඥයන්ගේ දෙපතුල් ලෙව කෑ යුතු සංස්කෘතියක් මෙරට තුළ ඇති කර තිබිණි. එනිසාම දේශපාලනයට මේ රටේ සිටින කසිප්පුකාරයන්, කුඩාකාරයන්, ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් ආදී අපරාධකරුවන් රිංගා ගත් බව පැහැදිලිය. සුදු ඇඳුම යට සිටියේ යක්‍ෂයෙකි. ඒ යක්‍ෂයන් රටේම රීරිමාංෂය උරා බී රටම රොඩ්ඩක් බවට පත් කර ඇත.
නීතිය ක්‍රියාත්මක විය යුතුය. නුඹ මොන තරම උස මිනිසකු වුවත් නීතිය ඇත්තේ නුඹට උඩිනි. එනිසා විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සහ හිටපු දේශපාලනඥයන්, අලුත් දේශපාලනඥයන් එක්විය යුත්තේ නීතිය, යුක්තිය වෙනුවෙනි. මේ රටට විනයක් අවශ්‍යය. නීතියට කොයි කවුරුත් ගරු කළ යුතුය. එසේ මහා පරිමාණ චින්තන වෙනසක් මේ රටට අවැසිය. ජනතාව යනු බලය ය. ජනතාව නොමැති තැන බලයක් නැත. ජනතා පරමාධිපත්‍යය යනු ඒකය. විපක්‍ෂයේ පක්‍ෂ එක්ව යළි නීතිය නවන්නට ගියහොත් ජනතාව ඊළඟ වතාවකදී නීතිය නවන්නට වලිකන අයට කදිම පාඩමක් කියා දෙනු ඇතැයි අපගේ කල්පනාවය.

 

Share This