“යතිවර මාපිය නිවහන” බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තම දරුවන් සසුනට පූජා කළ, එහෙත් ආර්ථික වශයෙන් අසීරු මට්ටමක පසුවන සහ මෙතෙක් ස්ථිර නිවසක් අහිමිව සිටින දෙමාපියන්ගේ නිවාස අවශ්යතාව සපුරාලීම වෙනුවෙන් රජය මඟින් “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ක්රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන වඩාත් විධිමත්ව බදුල්ල දිස්ත්රික්කය තුළ ක්රියාවට නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බදුල්ල දිස්ත්රික් ශාසනාරක්ෂක මණ්ඩලය සමඟ ඊයේ දින බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්යාපෘතිය මෙහෙයවනු ලබයි. මෙහි මූලික අරමුණ වන්නේ සසුනට දායාද කළ දරුවන්ගේ දෙමාපියන් වෙත උපහාරයක් ලෙස සුදුසුකම්ලත් ප්රතිලාභීන් හඳුනාගෙන, ඔවුන්ට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීම සඳහා අවශ්ය මඟපෙන්වීම සහ අධීක්ෂණය සිදු කිරීමයි.
මෙම සාකච්ඡාවේදී ව්යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, ඊට අමතරව පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත් වූ විහාරස්ථාන නැවත ප්රතිසංස්කරණය කිරීමේ අවශ්යතාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. එම විහාරස්ථාන නගා සිටුවීමට අවශ්ය ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවල සිරිනිවාස හිමියන්, ඌව අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය කණවැරැල්ලේ හේමාලෝක හිමියන්, බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය කැන්දවින්නේ ගුණානන්ද හිමියන්, දිස්ත්‍රික් ලේඛකාධිකාරී පූජ්‍ය වංගියකුඹුරේ සමිත හිමියන්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු මහා සංඝරත්නයද අදාළ රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.
Share This