යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව ඉන්දියාවට

ඉන්දීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කරන ලෙසත්  ඉල්ලීමක් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව මේ දිනවල ඉන්දියාවේ
නිල අධ්‍යයන චාරිකාවක නිරත වනවා. ඒ ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුවයි.

දෙරටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගත් මෙම සංචාරයේ පළමු දිනය ඉතා සාර්ථක සාකච්ඡා කිහිපයකින් සමන්විත වී තිබෙනවා.

පළමු දිනය වූ අද දිනයේ ඉන්දීය විදේශ ලේකම්වරයා මුණගැසී දෙරටේ සංවර්ධන කටයුතු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වල ආයෝජනය සඳහා ඉන්දීය ආයෝජකයන්ට ඇති අවස්තාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කර තිබෙනවා.

මේ මොහොතේ මතුවිය හැකි ආර්ථික අර්බුද තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩි කිරීම සඳහා ඉන්දීය ආයෝජකයන් හැකි ඉක්මනින් දිරිමත් කරන ලෙස හා ඔවුන්ව ශ්‍රී ලංකාවට යොමු කිරීමෙ වැදගත්කම මෙන්ම ඔවුන් යොමු කරන ලෙස ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව අංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් හට ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ කතානායකතුමා මුණගැසීමට අවස්ථාව ලැබුණු අතර එහිදී දෙරටේ පාර්ලිමේන්තු සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අතරතුර ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාව මෙන්ම ප්‍රවාහන කටයුතු පිළිබඳ කාරක සභාව ද හමු වූ අතර,
එහිදී ඉන්දියාවේ වර්තමාන යටිතල පහසුකම් සංවර්ධනය සහ උපායමාර්ගික සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමට මෙරට යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින්ට හැකිව තිබෙනවා.

එමෙන්ම මෙරට යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින්හට ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් සහ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට ද එක්වීමට ද හැකිව තිබෙනවා.

Share This