මේ වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවලට

මේ වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවලට

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 212,302 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. කාන්තා ශ්‍රමිකයන්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයන් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව 1,30,252කි. මෙම මාස 8ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයන් 82,050 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 53,159කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයන් 41,180 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයන් 30,263 දෙනකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබේ.
සාම්ප්‍රදායක මැදපෙරදිග රටවලින් බැහැර යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මේ වන විට ඇතිවී තිබේ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයන් 8,015කුද, දකුණු කොරියාවට 4,324කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් 2025 වසරේ මුල් මාස 8 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.11ක ප්‍රේෂණ මෙරටට එවා ඇත. 2024 වසරේ මුල් මාස 8 තුළ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.28ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 19.30න් ඉහළ ගොස් තිබේ. එසේම 2025 වසරේ අගෝස්තු මාසය තුළදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 680.80ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇත. 2025 වසර තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශ්වාසය පළකරයි.

Share This