මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව උදෙසා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලසුම් 03 ක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව වර්ධනය කිරීම අරමුණු කරගත් වැදගත් වූ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලසුම් ත්‍රිත්ත්වයක් නිල වශයෙන් හඳුන්වාදීම සඳහා වූ විශේෂ උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ Courtyard by Marriott – Colombo City Centre හෝටලයේ Grand Sapphire Hall ශාලාවේ දී පසුගිය දා පැවැත්විණි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ Patient Safety and Accreditation Bureau (PSAB) අංශය විසින්

🔸සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආසාදන පාලනය සඳහා ජාතික ප්‍රතිපත්තිය (National Policy on Infection Prevention and Control -IPC),

🔸 සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය හා රෝගී ආරක්ෂාව සඳහා ජාතික උපායමාර්ගික සැලැස්ම (National Strategic Plan on Healthcare Quality and Safety 2026–2030),

🔸ඖෂධ භාවිතයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම (National Action Plan on Medication Safety 2026–2030) යන ජාතික ලේඛණ ත්‍රිත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු සිදු කරන ලදි.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ Patient Safety and Accreditation Bureau (PSAB) ඒකකය රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය හා රෝගී ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා මෙතෙක් සිදුකර ඇති වැඩසටහන් පිළිබඳ සමාලෝචනයක් සිදු කරන ලද අතර, එම සමාලෝචනය එම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබ්ලිව්. එමි.කේ මැදිවක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම ශල්‍යකර්ම සිදුකිරීමේ දී රෝගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භාවිත කරන ශල්‍යකර්ම ආරක්ෂණ පිරික්සුම් ලැයිස්තුව (Surgical Safety Checklist) පිළිබඳ හඳුන්වාදීමක් ද මෙහි දී සිදුකරන ලදී.

ඒ සඳහා මෞත්‍ර රෝග පිළිබද ශල්‍ය විශේෂඥ වෛද්‍ය (Consultant Urological Surgeon) හිලරි ප්‍රනාන්දු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය (Consultant Anaesthetist) අනෝමා පෙරේරා විසින් පැහැදිලි කිරීමක් ලබාදුන් අතර ඒ සම්බන්ධ දැනුවත් කිරීමේ වීඩියෝවක් ද ප්‍රදර්ශනය කිරීමට පියවර ගැණුනී.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නියෝජනය කරමින් සහභාගී වූ Dr. Irina Papieva සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත Dr. Rajesh Sambhajirao Pandav යන මහත්ම මහත්මීන් විසින් ද රෝගී ආරක්ෂාව හා සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් සිදුකරන නව සැළසුම් සහගත වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වන ලද අතර, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝගී ආරක්ෂාව, සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආසාදන පාලනය වැනි වැදගත් අංශ වඩාත් ශක්තිමත් කිරීමට මගපෙන්වන වැදගත් පියවරක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බව ද අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share This