මෙම වසරේ මාරක අනතුරුවලින් 1332ක් මියගිහින්

මෙම වසරේ මාරක අනතුරුවලින් 1332ක් මියගිහින්

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
මෙම වසරේ ජනවාරි මස පළමු වන දින සිට ගතවූ කාලය තුළ පමණක් සිදු වූ මාරක රිය අනතුරු 1,256කින් පුද්ගලයන් 1,332 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙම වසරේ මුල් මාස 6ක කාලය තුළ පෞද්ගලික බස් රථ රියැදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පුද්ගලයන් 60 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලංගම බස් රථ අනතුරුවලින් මාරක රිය අනතුරු 30ක් ද සිදුව තිබේ.
එසේම මෙම වසරේදී ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර බොහෝ දෙනකුගේ අවධානයට ද ලක්විය. මෙම වසරේ මැයි මස 11 වැනිදා සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 35 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණි. මෙය මෑත ඉතිහාසයේ ඛේදජනකම ලංගම බස් රථ අනතුර බවට පත්විය.
එසේම පසුගිය (04දා) රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ බස් අනතුර මෙරට රිය අනතුරු ඉතිහාසයට තවත් ඛේදනීය අත්දැකීමක් එකතු කරන රිය අනතුරක් බවට පත්විය.
එම අනතුරින් කුඩා දරුවන් දෙදෙනකුද ඇතුළුව පුද්ගලයන් 15 දෙනකු මරණයට පත්වූ අතර තවත් 16 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළේය.
මෙම සෑම අනතුරකදීම බස් රථ රියදුරන්ට සෘජුව චෝදනා එල්ල වන අතර ඇතැම් අවස්ථාවලදී බස් රථවල කාර්මික දෝෂද මෙම අනතුරුවලට හේතු වී ඇති බව වාර්තා වෙයි.
මෙසේ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන ලද මාරක රථ වාහන අනතුරු නිසා පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් මරණයට පත්ව තවත් විවිධ පිරිසක් තුවාල ලබා අර්ධ සහ පූර්ණ කාලීන ලෙස ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

Share This