මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් අභියාචනාධිකරණට නිෂ්ප්‍රහ කරයි
එම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර හෙට සිට අත්හිටුවයි
ගෙවිය යුතු හිඟ සුරා බදු මුදල් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද (04) නිකුත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු වලින් බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි.
පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 30 වැනිදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.
දෙසැම්බර් මස 31 වන දා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වනදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දුන්නා.
තම සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 10 ක් නිකුත් කර තිබෙන බවත්, ඉන් බලපත්‍ර 08 ක් දෙසැම්බර් 04 දින සිට අත්හිටුවන බවට දැනුම් දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
තම සේවා දායකයා විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3 ක හිඟ සුරා බදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12 කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල් වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරිණ ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය දැඩි පෙර විරෝධය පළ කළා.
හිඟ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වන සිට අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එහිදී අවධාරණය කර සිටියා.
එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එය බදු ගෙවීම් පැහැර හල සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අදාළ වන බවත් පැවසුවා.
ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිඳු නීතිමය පදනමක් නොමැති බවත්, එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මිනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මේ අතර මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනූවමෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය හෙට (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.
එමෙන්ම 2024.12.05 වැනිදා සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එකී හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන්.
සුරා බදු ආඥා පනතේ නෛතික විධි විධාන ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.